බණ්ඩාරගම, අටළුගම, මාරාව ග්‍රාම නිලධාරී වසමේ ඊයේ (10දා) කළ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පුද්ගලයන් 22ක් පමණක් ඉදිරිපත් වූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ශ්‍යාමලී අමරසිංහ මහත්මිය පැවැසුවාය.
ඉදිරිපත් වූ පුද්ගලයන් 22ගෙන් දෙදෙනෙක් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට අනාවරණය වූ බව වෛද්‍යවරිය කීවාය.
ඉකුත් 2 දා ඇතිවූ සිද්ධියෙන් අනතුරුව පෙරේදා (9දා) කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී යුද්ධ හමුදාව සහ පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ලබාදීමට එකඟතාව පළ කෙරිණි.
එම ආරක්ෂාව මධ්‍යයේ ඊයේ (10දා) ජනගහනය 2,800ක් සිටින මාරාව ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයන් 400ක් උදෙසා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමටත් පුද්ගලයන් 300ක් උදෙසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සියලු කටයුතු සූදානම්ව අල් ගසාලි මහ විද්‍යාලය කරා ගිය ද ඒ සඳහා ඉතා ම අල්ප ප්‍රමාණයක් වන පුද්ගලයන් 22ක් පමණක් ඉදිරිපත් වීම ඉතාමත් අවාසනාවන්ත කනගාටුදායක තත්ත්වයක් බව වෛද්‍ය අමරසිංහ මහත්මිය පැවැසුවාය.
අටළුගම ඇතුළුව හුදෙකලා කරන ලද ග්‍රාමසේවා වසම් 7හි ජනගහනය 15,973කි. එයින් පුද්ගලයන් 1,541 දෙනෙක් උදෙසා පී.සී.ආර්. පරීක්ෂණ කර ඇති අතර අද වන විට පුද්ගලයන් 541 දෙනකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී ඇතැයි වෛද්‍ය අමරසිංහ මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.