Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දිනයේදී බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව, අද දහවල් 12.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මූලස්ථානය සියලු ම ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ට සහ අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

එහිදී අධිවේගී මාර්ගයට ඇතුළුවන පිවිසුම් ස්ථානවලදී මෙන් ම පිටවන ස්ථානවලදී ද බීමත් බව පරීක්ෂා කෙරෙන ශ්වසන වායු පරීක්ෂණයක් අහඹු ලෙස තෝරාගත් වාහනවල රියැදුරන්ට සිදු කිරීමට නියමිත ය.

එමෙන් ම, අනෙකුත් මාර්ගවල ගමන් කරන වාහනවල රියැදුරන්ට ද මෙම පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර, ගත වූ දින 5ක කාලය තුළ බීමත් රියැදුරන් 1834 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පසුගිය 13 වන දා සිට අද (අප්‍රේල් 18) උදෑසන 6.00 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම කාල පරිච්ඡේදය තුළ දිවයින පුරා රිය අනතුරු 399ක් පමණ වාර්තාවී ඇති බව ය.

එමෙන් ම, එම කාලය තුළ පුද්ගලයින් 59 දෙනෙකු රිය අනතුරු හේතුවෙන් මිය ගොස් ඇති අතර 669 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

තව ද එම කාලය තුළ වාහන 2,242 පමණ පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එම වාහන අතරින් වැඩි ම සංඛ්‍යාවක් යතුරු පැදි වන අතර එම සංඛ්‍යාව 1,429කි.

පොලිස් භාරයට ගෙන ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාව 552කි. මගී බස් රථ 12ක්, ලොරි 38ක්, කැබ් 22, ද්විත්ව කාර්ය වාහන 28ක්, වෑන් 30ක්, කන්ටේනරයක්, පාපැදි 2ක් සහ කාර් 128ක් ද ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *