Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අත්‍යවශ්‍ය ගමන් හැර විනෝද ගමන්, සති අන්ත නිවාඩු ගත කිරීම් ආදී වෙනත් ගමන් බිමන් වැළැක්වීමට අද (මැයි 11) මධ්‍යම රාත්‍රියේ සිට සංචාරණ සීමා පැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 11) පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය රාජකාරී ගමන් හැර වෙනත් ගමන් සඳහා පළාත් අතර සංචරණය තහනම් වෙනු ඇත.

ජනතාවගේ එදිනෙදා කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය සේවා, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ කටයුතු, ආරක්ෂක සේවා, ජලය, විදුලිය, සන්නිවේදනයට අවශ්‍ය සේවා, වරාය සහ ගුවන්තොටුපළ සේවා, මාධ්‍ය සහ මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවා, අධිකරණ සහ නීති ක්ෂේත්‍රයට අදාළ සේවා, වාණිජ සහ මූල්‍ය කටයුතුවලට අදාළ සේවා, වෙනත් රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල අදාළ සේවා වල නිරත සේවකයින්ට අදාළ පරීක්ෂා කිරීම් වලින් අනතුරුව පළාත් හරහා පැමිණීමට ඒ අනුව හැකියාව ලැබෙනු ඇත.

එමෙන් ම කෘෂිකර්මයට, ඖෂධ නිෂ්පාදනයට සම්බන්ධ රාජ්‍ය හෝ පුද්ගලික ආයතන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවතින විශේෂ ආයතන, කර්මාන්ත ශාලා හා නිෂ්පාදනට සම්බන්ධ ආයතන තිබේ නම් ඒවාට සහ එම සේවකයින්ට අදාළ ස්ථාන වල පරීක්ෂා කිරීම් වලින් අනතුරුව පළාත් අතර ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

තව ද යම් ප්‍රදේශයක් හුදෙකලා කර ඇත්නම් එම ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට එම ප්‍රදේශවලින් පිටවීම සහ එම ප්‍රදේශ වලට ඇතුළු වීම සීමා කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයින් නිවෙස් තුළ ම රැඳී සිටිය යුතු බවත් ඊට අනුගත නොවී නිවෙස් වලින් පිටවීම හෝ පිටස්තර පුද්ගලයින් ඇතුළු කර ගැනීමක් සිදු කළ හොත් ඔවුන්ට එරෙහිව නිරෝධායනය නීතිය යටතේ දැඩිව කටයුතු කරන බවත් ය.

පළාත් අතර සංචරණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකෙරෙන අතර අදාළ පළාත් සීමාවන් හි ඇති මාර්ග බාධකවලදී රථ වාහන පරීක්ෂා කිරීම් සිදු කෙරෙන බවත් ඊට පොලිස් නිලධාරීන්ට සහය ලබා දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තව ද අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පළාත් අතර ගමන් කරන පුද්ගලයන්ට තම රාජකාරී හැඳුනුම්පත භාවිතා කර ඒ බව තහවුරු කර අදාළ ගමන් සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

එමෙන් ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සංචාරක හෝටල්වල වෙනත් පළාත්වලින් පැමිණෙන පුද්ගලයන් රඳවාගත හොත් අදාළ හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ය.

එසේ වුව ද අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා වෙනත් පළාත්වලින් පැමිණ නවාතැන් ගැනීමට සිදුවන පුද්ගලයන් එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට සහ පොලිස් ස්ථානයට ඒ බව පූර්ව දැනුම් දීමක් කර අවසර ගැනීමකින් පසුව අදාළ ස්ථානයේ නවාතැන් ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සුපිරි වෙළඳ සල් ඇතුළු අනෙකුත් ව්‍යාපාරික ස්ථානවලට පාරිභෝගිකයින් ඇතුළු කර ගත හැක්කේ පූර්ණ ධාරිතාවයෙන් 25%ක් පමණක් බවත් යම් හෙයකින් එය ඉක්මවා ඇත්නම් එම ව්‍යාපාරික ස්ථානයේ, කාර්යාලයේ ප්‍රධානීන් ඇතුළු අතිරේකව රැඳී සිටින්නන්ට එරෙහිව නිරෝධායන නීති අනුව කටයුතු කරන බවය.

එමෙන් ම, පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් ද නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කරන බවත් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ ඩ්‍රෝන් ද යොදා ගනිමින් නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් පිළිබඳ නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *