Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අනුව, රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු, ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි එහිදී අනාවරණය විය විශේෂයෙන්ම ප්‍රහාරය ආසන්න දිනවල WhatsApp මාර්ගයෙන් බුද්ධි අංශ වෙත සිදු කෙරුණු අනතුරු ඇඟවීම් ගැන විශේෂ කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු සංක්ෂිප්ත වශයෙන් පහත දැක්වේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී වසර දෙකක් ගතවන තවත් පාස්කු ඉරිදාවක මෙම සටහන අප ඔබ වෙත ගෙන එන්නෙමු.

අප්‍රේල් 21 වන දින උදෑසන 8.27

“ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්.”

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ දැක්වෙන පරිදි පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙත ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී තිබුණ අවසන් ඔත්තුව එයයි.

එදින උදෑසන 8.45ට කොච්චිකඩේ සහ කටුවපිටිය දේවස්ථානයෙන් ආරම්භ වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව අවසන් වූයේ දෙමටගොඩ නිවාස සංකීර්ණයේ පස්වරු 2.25ට සිදු වූ පිපිරීමත් සමගය.

කතෝලික පල්ලි තුනක් සහ හෝටල් තුනක් ඉලක්ක කරගෙන සිදුවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 277 දෙනෙකු (මරාගෙන මැරෙන බෝම්බකරුවන් 8 දෙනා ඇතුළුව) මිය ගිය අතර තවත් 400කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මරණයට පත්වූවන් අතර විදේශිකයන් 40ක් සහ දරුවන් 45 දෙනෙකු සිටි බව වාර්තාවල දැක්වේ.

අප්‍රේල් 21 මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවූ ස්ථාන සහ වේලාවන්
අප්‍රේල් 21 මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවූ ස්ථාන සහ වේලාවන්

ජාතික තව්හීඩ් ජමාත් අන්තවාදී මුස්ලිම් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම ප්‍රහාරවල ප්‍රධාන සැකකරුවා ලෙස පොලිසිය විසින් නම් කරනු ලැබ තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිකුත් කළ සිය වාර්තාව මගින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳව දීර්ඝ ලෙස කරුණු වාර්තා කර තිබේ.

එල්ලවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් තමන්ට ලැබුණු බුද්ධි තොරතුරුවල වැදගත්කම රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට අනතුරු ඇඟවීමට රාජ්‍ය බුද්ධි අංශය අපොහොසත්වී ඇති බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි අංශයේ (State Intelligence Service – SIS) ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන සිය වගකීම ඉටුකිරීමට අපොහොසත්වී ඇති බව විශේෂ කාරක සභාව නිගමනය කර තිබේ.

පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවට අනුව අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව ලැබී තිබෙන බුද්ධි තොරතුරු මෙසේය:

  • අප්‍රේල් මස 4 වැනිදා පළමු තොරතුර

2019 අප්‍රේල් 4 වැනිදා සිය මූලාශ්‍රයකින් WhatsApp හරහා ප්‍රහාරය පිළිබඳව මුල් බුද්ධි තොරතුර ලද බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පාර්ලිමේන්තු කාරක සභාවට හෙළිකරයි. ඒ හා සමාන තොරතුරු 2019 අප්‍රේල් 05 වැනි දින ඔහුට ලිඛිතව ලැබී තිබේ. (මෙම තොරතුරැ ලැබුණු මුලාශ්‍රය ඔහු කාරක සභාවට හෙළිකර නොමැත).

  • අප්‍රේල් මස 7 වැනිදා පළමු දැනුම්දීම

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා තමන්ට ලැබුණ තොරතුර දැනුම් දුන් පළමු පුද්ගලයා වන්නේ ජාතික බුද්ධි ප්‍රධානී (National Intelligence Chief) සිසිර මෙන්ඩිස්ය.

  • අප්‍රේල් මස 8 වැනිදා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීම

තමන්ට ලැබුණු තොරතුර ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා විසින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අප්‍රේල් 8 වැනිදා සවස ලබාදී තිබේ. එහිදී මේ පිළිබඳව පොලීසියට දැනුම්දෙන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බව ඔහු පවසයි.

  • අප්‍රේල් 9 බුද්ධි තොරතුරැ සම්බන්ධීකරණ රැස්වීමක්

ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් එදින සාකච්ඡාවට සහභාගි වී තිබෙන අතර එහිදී මෙම ප්‍රහාරය පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු විශේෂ අවධානයක් යොමු කර නැතැයි අනාවරණය වන බව කාරක සභා වාර්තාව පෙන්වාදෙයි. එහිදී තමා සහ ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා අතරවූ කතාබහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පාර්ලිමේන්තු කාරක සභාවට සාක්ෂි දෙමින් මෙසේ හෙළිකර තිබුණි.

“සර්, ඕක තාම සර් ළඟද ? ඕක ලෙඩක්. ඇයි ඕක තියා ගත්තේ ? තාම මුකුත් කරේ නැද්ද? ඕක කියන්න”. “නැහැ, මම Secretaryට කිව්වා” කියලා ඔහු කිව්වා. ඊට පස්සේ සාකච්ඡාවේදී ඔහු කිව්වා “සර්ල, නිලන්තගේ” කියලා. එතකොට ලේකම්තුමා ඇහුව , “නිලන්ත, මොකද වෙන්නේ කියලා?” මම කිව්වා මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට අද යවනවා කියලා”.

ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට හැර කිසිදු අවස්ථාවක රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා මෙම ප්‍රහාරයේ බරපතල ස්වභාවය ගැන කිසිවෙකුත් දැනුවත් නොකළ බව පාර්ලිමේන්තු කාරක සභාවේ නිරීක්ෂණය වී තිබේ. අප්‍රේල් 9 පැවති මෙම සාකච්ඡාවේදී ඔහු ඔහුට ලැබී තිබුණු මෙම බුද්ධි තොරතුරැ ගැන නිශ්ශබ්දව සිට ඇතැයි යන්න සිය නිරීක්ෂණය බව වාර්තාව සඳහන් කරයි.

  • අප්‍රේල් 9 වැනි දින සවස පොලිස්පතිට ලිඛිතව දන්වයි

ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයෝ ශ්‍රී ලංකාව තුල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට නියමිත බව විස්තර කරමින් “අතිශය රහසිගතයි” යනුවෙන් සලකුණු කරන ලද ලිපියක් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් පොලිස්පති පුජිත් ජයසුන්දර වෙත යවනු ලබන්නේ මෙදිය. මරාගෙන මැරෙන ප්‍රහාරවල සාමාජිකයන් විය හැකි තැනැත්තන් ලෙස සහරාන් හෂීම්, ජා අල් කුයිල්, රිල්වාන්, සාජි මෞලවි, ෂාහිර්, මිල්හාන් ඇතුළු පිරිසකගේ නම්ද එම ලිපියේ සඳහන් කර තිබේ. එදිනම මෙම ලිපියේ සටහනක් යොදා පොලිස්පතිවරයා විසින් එය බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට යවනු ලැබ තිබේ.

  • අප්‍රේල් 10 වැනි දින සහරාන් අත්අඩංගුවට ගන්න උපදෙස්

අප්‍රේල් 10 වැනිදා තමන්ට මෙම තොරතුරු ලැබුණු බවත් සහරාන් සහ අනෙකුත් අය අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බවත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසා තිබේ. එදිනම සහරාන්ගේ ෆේස්බුක් පිටුව අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

  • අප්‍රේල් 14,15,16 සහරාන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්

මෙම තෙදින තුළ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ප්‍රදේශ ගණනක මෙහයුම් සිදු කොට තිබේ.

ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයට අයත් බව පවසන කාතාන්කුඩි ප්‍රදේශයේ ඇති පල්ලියක්
ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයට අයත් බව පවසන කාතාන්කුඩි ප්‍රදේශයේ ඇති පල්ලියක්
  • අප්‍රේල් 15 වැනි දින සහාරන්ගේ ෆේස්බුක් අඩවිය අවහිර කරයි.
  • අප්‍රේල් 17 වැනි දින කාතාන්කුඩි ප්‍රදේශයේ ඊට පෙර 16 දින සිදුවූ පිපිරීමක් ගැන රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු
  • අප්‍රේල් 18 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා කාතාන්කුඩි ප්‍රදේශයේ එම පිපිරීම සහරාන් හෂීම් විසින් සිදුකරන ලද බවටත් එය පෙරහුරුවක් බවත් සඳහන් කරමින් විශේෂ වාර්තාවක් පොලිස්පතිට යවයි.
  • අප්‍රේල් 19 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙම සිදුවීම ගැන ප්‍රථම වරට හමුදා බුද්ධි අංශ දැනුවත් කරයි.
  • අප්‍රේල් 20 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට තම මූලාශ්‍රයකින් තවත් WhatsApp පණිවිඩයක්.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා 20 වැනිදා සිය මූලාශ්‍රවලට මෙවන් පණිවිඩයක් යවයි.

“ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයන් සූදානම් වේ. ඔවුන්ගේ සැලසුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කාතාන්කුඩිය ප්‍රදේශයේ 2019 අප්‍රේල් 16 දින පුපුරණ ද්‍රව්‍ය සවිකර යතුරුපැදියක් පුපුරුවා හරිමින් පෙරහුරුවක් සිදු කර ඇති බව තවදුරටත් දැනගැනීමට ඇත.”

ඊට ඔහුගේ මුලාශ්‍රයකින් ලැබුණු ප්‍රතිචාරය පහත දැක්වේ.

“2019.04.21 දින හෝ ඊට පෙර දිනක ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ ප්‍රහාරය දියත් කිරීම සිදු විය හැකි බව හා දේවස්ථාන හා ඉන්දියානුවන් වැඩි සංඛ්‍යාවක් නැවතී සිටින හෝටල් ඇතුළු ස්ථාන 8ක් ඔවුන් ඒ සඳහා තෝරාගෙන ඇති බව වාර්තාවේ. වැඩිදුර විස්තර පසුවට.”

මෙම පණිවිඩය ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට, පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට පවසා තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව
  • අප්‍රේල් 21 වැනි දින උදෑසන 8.27ට අවසන් බුද්ධි තොරතුර

“ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්.”

රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධනට පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳව ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී තිබෙන අවසන් බුද්ධි තොරතුර එය වේ. උදෑසන 8.27ට ලැබුණ එම තොරතුර උදෑසන 8.32 වන විට පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට දැනුම්දුන් බව ඔහු පවසයි.

මෙම ඇමතුම් වලින් විනාඩි කිහිපයකට පසු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා අමතා ඔබේ තොරතුර හරි ඔවුන් කොච්චිකඩේ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව පැවසූ බවත් ඉන් අනතුරුව ඉතිරි ප්‍රහාර ගැන කරුණු වාර්තා වූ බවත් රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පවසා තිබේ.

ජනපතිවරණය ඉලක්ක කරගෙන ?

රජය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු සීමිත පිරිසකට පමණක් ලැබුණු මෙම තොරතුරු අදාළ පාර්ශවයන් සමඟ හුවමාරු කර නොගැනීම ගැන ප්‍රබල අවධානය යොමුකරන විශේෂ කාරක සභාව පවසන්නේ විශේෂයෙන්ම එම තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම පිටුපස වෙනත් අරමුණු තිබුණේ ද යන්න සොයා බැලීම පිණිස වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බවය.

“ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් රට තුළ බියක් සහ අවිනිශ්චිතතාවක් සහ කැළඹිලි ඇතිකිරීම අරමුණු කරගෙන” එසේ පියවර නොගත්තේ ද යන්න සොයා බැලිය යුතු අතර, එවනි තත්වයක් මතුවීම “පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්වයකට මග පාදනු ඇති,” බව කාරක සභාවේ නිගමනය වී තිබේ.

සිය නිගමන සහ නිරීක්ෂණ ශ්‍රී ලංකාවේ “ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මැතිවරණ ක්‍රියාවලිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත් බරපතල නිරීක්ෂණ,” බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *