Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now
dog

කලට වේලාවට වැඩ කිරීම සහ කොතෙක් වැඩ අධික වූවත් චුරු චුරුවෙන් තොරව කාටත් උදව් උපකාර කිරීමට ඉදිරිපත්වීම නිසා කලා විනෝදනී පිල්ලේ කොයි කවුරුන් අතරත් ජන්ප්‍රියත්වයට පත්ව සිටියාය. දෙමළ කතෝලික පියකුට සහ සිංහල බෞද්ධ මවකට දාව උපන් ඇයගේ මුල් ළමා විය ගෙවුණේ කොළඹ 15 මට්ටක්කුලියේය. පවුලේ එකම දරුවා ලෙස ඉතා නිදහස් නාගරික පරිසරයක හැදී වැඩීම නිසාදෝ ඇගේ ළමාවිය වාර්ගික සහ ආගමික දෘෂ්ටිවාදී අගතීන් අතින් කිළිටි වූයේ නැත. එහෙත් හැමවිටම ඇය වෙතින් කැපී පෙනුණේ නාහෙට නාහන කොල්ලකු බඳු ඇවතුම් පැවතුම් රටාවකි. ඇගේ මුහුණට ‘කලා ‘ යැයි අමතන බොහෝ දෙනෙක් ඈ නැති තැනදී ‘ටොම් බෝයි ‘ ලෙස හැඳින්වූයේ ඇගේ ඇදුම් පැළදුම් ගමන බිමන සහ කතා කෙරුම් ආදී සියල්ලම පාහේ කොල්ලෙකුගේ මෙන් වූ නිසාය.

තවත් සමහරුන් විසින් ඇය හදුන්වනු ලැබූයේ ‘ කලාබර චූටී ‘ යන විකට නාමයෙනි. උදේ පාන්දරින් මව සහ පියා සමඟ කිරි කොක් සුදු පාසල් නිල ඇඳුමින් සැරසී විනීත බාලිකාවක මෙන් ගෙදරින් පිටත්ව යන ඇය හරියටම පස්වරු 01.30 වනවිට පෙරළා පැමිණෙයි. ඒ වනවිට ඈ පිළිගැනීමට නිවෙසේ සිටින්නේ බ්‍රවුන් ඇලීසා නම් සුනඛ ධේනුව පමණි. කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලාවේ සේවය කළ ඇගේ මව සහ පියා රාජකාරි නිමවී නිවෙසට පැමිණෙන්නේ ගොම්මන් කළුවර මැදිනි.

පාසල නිමවී මහල් නිවාස සංකීර්ණයේ තරප්පු පෙළ නැග දෙවැනි මහලට ඇය පිවිසෙනවාත් සමඟ ම දැනෙන ඉව නිසා බ්‍රවුන් ඇලීසාගේ දෙනෙත් බබළන්නට ගනී. ඉදිරි සහ පසුපස ගාත්‍රා දිගු කොට සෙල්ලම් අශ්වයකු බඳු ස්වරූපයකට පත්වන ඌ ඉදිරියටත් පසුපසටත් රිද්මයානුකූලව චලනය වෙමින් ඇඟමැළි කඩමින් ව්‍යායාමයේ යෙදෙන්නේ උගේ නිම්හිම් නැති ප්‍රීතිය ප්‍රකට කරවන ඉරියව්වකිනි. ඇය දුටු සැණින් ඇලීසා පසුපස ගාත් දෙකෙන් සිට ගෙන ඉදිරි ගාත් විහිදා බදා ගන්නට මෙන් ඉදිරියට පනිනු ඇත. ඉන්පසුව උගේ ග්‍රහණයෙන් මිදී ම ලෙහෙසි නොවේ. පාසලින් ලැබුණු ‘ඇදිහැස ‘ විස්කෝතු කිහිපය එකින් එක ඌට කැවීමෙන් අනතුරුව උගේ හිස සහ සිරුර පිරිමදින ඇය ලද අවසරයෙන් නාන කාමරයට පැන ගනී. ඇය ඉන් නික්මෙන විටත් ඇලීසා දොරකඩ සිටගෙන පුල පුලා බලා සිටින්නේ කලා සමඟ එක්ව ඊවිනිංග් වෝක් හෙවත් කලාගේ අම්මා නිතරම දොස් කියන පරිදි ‘රෝන්දේ ගැසීමට ‘ යෑමටය.

මේ ගමනේදී ජම්පටා වීදීයේ සැම්සන් සහ ජෙරාඩ් ද පල්ලිය පාරේ ඇනස්ලි සහ සමන් ද මෝදර පාරේ ලීනස් සහ සිගේරා ද නිතරම හොටු හූරන වෙරළ පාරේ රමේශ් ද අල බෝලේ යන විකට නමින් ප්‍රකට බඩ තඩි සුදේශ් ද යනාදී වශයෙන් වූ සම වයසේ කොලු රෑනක් මේ දෙදෙනා සමග එක්වෙයි. එල්ලේ පාපන්දු යන ක්‍රීඩා මෙන්ම ගස් නැගීම ලිස්සන බෝට්ටුවේ යෑම තරගෙට දිවීම ජිල් බෝල ගැසීම ආදීයෙන් නොනවතින ඔවුහු ඇතැම් දවසක රටකජු කමින් මෝදර මෝය බලන්නටත් යති.

මේ සියලු තැනකදීම ඇලීසා; කලා අසලින්ම සිටින්නේ ආරක්ෂකයකු පරිද්දෙනි. කුමක් කළත් කොහේ ගියත් හැන්දෑවේ හයහමාර පසුවන්නට පෙර කලා සහ ඇලීසා පෙරළා නිවෙසට පැමිණ අහිංසක පෙනුමක් ආරූඨ කැරගෙන සිටීන්නේ නිවෙසින් පිටතට අඩියක්වත් නොගිය වුන් පරිද්දෙනි. ‘ කලා … කලා කෝ මේ ළමයා .. අදත් ගිහිං ඇති දෙන්නත් එක්ක රෝන්දේ ..! ‘ යි කියමින් ගෙට ගොඩවීම කලාගේ අම්මාගේ බෝවුණු පුරුද්දක් විය. මේ හඬ ඇසෙනවාත් සමගම අල්ප දයන්න මෙන් වකුටුවන ඇලීසා දෙනෙත් වසාගෙන වහා බොරු නින්දකට වැටෙයි. එවිටම කලාගේ අතට පොතක් හසුවෙයි. ‘ මට මගදිම ආරංචි වුණා … අදත් ගියා නේද ..කොල්ලෝ රංචුවක් එක්ක ..රෝන්දේ ගහන්න .. ‘ යි කියමින් කලාගේ අතේ වූ පොතට උඩින් බලමින් අම්මා රවයි. ‘ මං කොහේවත් …ගියේ නෑ ..ඔයාට පේන්නැද්ද .. මං මේ පොතක් බලනවා .. ඔයාගේ වැඩේම ඉතිං බොරුවට කෑ ගහන එකනේ ..’ යි කලා නොරිස්සුමකින් උත්තර දෙයි. ‘

කාටද ඔය බොරු කියන්නේ ..ඈ …පොත කියවන හැටි පේනවා ඒක අල්ලගෙන ඉන්න විදිහෙන්ම … ‘ යි කී අම්මා කලාගෙ ඇගට කඩා පනී. තමා හදිසියට පොත අල්ලාගෙන සිටින්නේ එහි අකුරු උඩු යටිකුරු වන පරිදි බැව් එවිට කලා ට පෙනෙයි. ඒ දකින ඇලීසා ; කලා දෙස බලා ඔලොක්කුවට මෙන් ඇසක් ඇර බලා වහා හිස ඉවතට හරවා ගුප්ත කෙඳිරියක් නගන්නේ ‘මෝඩ ළමයෝ …ඔයා නිසා මාත් අමාරුවේ වැටෙනවා ‘ යි කියන්නාක් වැනි අභිනයකිනි. ඔවුන් දෙදෙනාටම පසුපස හරවා මවාගත් කෝ පයෙන් ගස්සාගෙන යන අම්මාගේ මුවගද සිහින් සිනා ඉරක් මතුවෙයි. අන්තිමේදී තිදෙනාම එකිනෙකාට හොරෙන් හිනාවෙයි.

ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතියක නායකයකු වූ කලාගේ තාත්තා සාමාන්‍යයෙන් නිවෙසට පැමිණෙන්නේ රාත්‍රී නවයට දහයටය. ඒ වනවිට කලා නින්දට ගොසිනි. කලාගේ අම්මා රෑ කෑම මේසයේදී කටු කුටු ගාමින් කලාගේ තාත්තා සමග ඈ පිළිබද දවසේ ගතු කේළාම් කියන විට ඇලීසා උගේ කන් උල් කැරගෙන ඒ සියල්ල අසා සිටින්නේ බොරුවට නිදි බව පෙන්වමිනි. ‘ තව ටික දවසකින් කලා ළමිස්සියක් වෙයි .. ඒ වුණාට කිසි ගාණක් නෑ … කොල්ලෝ එක්ක රට වටේ රෝන්දේ ගහනවා .. ‘ යි ඇය කියමින් සිටියදී තාත්තා සුපුරුදු ලෙස ඊට හරස් කපයි. ‘ මං ඔයාට හැමදාම කියනවා .. ඔය කෙහෙම්මල් ‘රෝන්දේ ගහනව’ කියන වචනේ පාවිච්චි කරන්න එපා කියලා .. ඔයා සිං හලෙන් සිංහල ඉගෙන ගත්තා වුණත් වචනවල තේරුම දන්නෑනේ …මං සිංහල ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන් …ඒ වුණත් දන්නවද ..රෝන්දේ ගහනව කියන්නේ ” ස්ලෑං ටර්ම් ” එකක් .. ඔයා කෝමද දුව හදා ගන්නේ ..ඔයාගේ කට හදා ගන්න බැරිව … ‘ යි ඔහු ඇයටම දොස් පවරයි. එය අසා ප්‍රීතියට පත් වූවාක් මෙන් වූ ඇලීසා සිමෙන්ති පොළොව මත හඬ නොනගා තාලයට වලිගය නටවයි.

මැයි පළමුවැනිදා පාන්දරින්ම කලාගේ තාත්තා තද රතු කමිසයක් හැඳ සිටි අතර එහි කොළරය දෙපැත්තේ සහ ඉදිරිපස සාක්කුවේ කහ පැහැයෙන් දෑ කැත්ත සහ මිටිය ලාංජනය පින්තාරු කොට තිබිණ. ඔහුගේ හිස මත වූ තද රතු පැහැති කැප් තොප්පිය මතද එම ලාංජනය විය. එදින පාන්දරින්ම අවදි වූ කලා සහ අම්මා අතර උණුසුම් වාදයක් හට ගත්තේය. තාත්තා සමග එක්ව තමාට ද මැයි පෙළපාලියට යෑමට වුවමනා බවට කලා දිගින් දිගටම වාද කළ අතර ‘ එය නං කෙසේවත් කළ නොහැකි බව ‘ කියමින් අම්මා ඊට හරස් කැපුවේය. අවසානයේදී පරාජය බාර ගැනීමට කලාට සිදුවිය.

අම්මා සහ තාත්තා ගෙයින් නික්ම යනතුරු බලා සිටි ඇය ඔවුන් පිටත්ව ගිය වහාම ඇලීසා සමග පිටත්ව ගොස් තම පරිවාර කොලු රැළ මුණ ගැසුණාය. ඒ වනවිට ඇලීසා තම නළල වටා රතු පීත්ත පටියක් බැඳගෙන සිටි අතර ඇලීසාගේ කරවටා ද එබඳුම රතු පීත්ත පටියක් ගැට ගසා තිබිණ. ඇලීසා පෙරටුව දැන් ඔවුන් මට්ටක්කුලිය සිට හෙට්ටියාවත්ත දෙසට පුංචි සෙල්ලම් පෙළපාලියක් යයි. සැතපුමක්වත් යෑමට පෙර කොලු නඩයේ එකා එකා බැගින් පෙළපාලියෙන් හොරෙන්ම හැලී ගිය නමුත් ඇලීසා සහ කලා පමණක් දිගටම ගමන් කළහ.ඔවුන් දෙදෙනා තවත් මඳ දුරක් එසේ ගමන් කරමින් සිටියදී වරායේ පසුපස දොරටුවකින් ගමන් ආරම්භ කැර සිටි රතු කමිසකරුවන් සිය ගණනකගෙන් යුත් පෙළපාලියක් මහ හඬින් සටන්පාඨ කියමින් ඉදිරියට පැමිණෙමින් සිටියේ ඔවුන්ගේ ප්‍රධාන පෙළපාලියට එකතුවීම සඳහාය.

රතු පීත්ත පටි පැළඳි කලා සහ ඇලීසා දුටු පෙළපාලිකරුවන් මහත් විනෝදයට සහ උද්දාමයට පත්ව ඔවුන් දෙදෙනා ද තම පෙළපාලියට කැඳවා ගත්තේය. සටන් පාඨ කියමින් ආමර් වීදීය දක්වා පෙළපාලිය පැමිණෙමින් තිබියදී කලා හොඳටම හෙම්බත්ව සිටි අතර ආපසු හැරී ගෙදර යා යුතු යැයි ඇයට සිතිණ. ඇගේ සිතිවිලි වටහා ගත්තාක් මෙන් ඇලීසා ද උගේ හැසීරීමෙන් පෙන්නුම් කෙළේ ආපසු හැරී යා යුතුය යන සංඥාවකි. මහ පාරෙන් ඉවත්ව පදික වේදිකාව මතට ගොඩ වූ ඔවුන් දෙදෙනා තමන් පසුකැර ඉදිරියට ඇදෙන පෙළපාලිය දෙස බලා සිටියේය. එහෙත් එහි නිමාවක් නැත.

මහ හඬින් සටන් පාඨ කියමින් රතු කමිසකරුවන් වැල නොකැඩී ඉදිරියට ඇදෙයි. /’ සාදුකින් පෙළෙන වුන් ..දැන් ඉතිං නැගිටියව් ..මිහිතලේ අසරණුන් පිබිදියව් ….සෝයුරන් සොයුරියන් ..සටනට එළැඹීයව් …ධනපතීන් අදමිටුන් සුන් කරව් ….සව් ලොවේ මේ හඬින් සැම ජතීන් එක්වි දැන් ….අන්තිම සටනට සැරසියව් …අන්තිම සටනට …අන්තිම සටනට ….අන්තිම සටනට …සැරසියව් !…/ රතු කමිස කරුවෝ සිය දහස් ගණනක් අත් මිටි ගුලි ලෙලවමින් මහත් ගිගුම් දෙන හඩින් කරන්නා වූ මේ කාහල නාදය කලාගේ සිරුර විනිවිද ගියේය. ඇතැම් විටෙක එයින් ඇගේ සිරුර පුරා රෝමෝද්ගමනය සිදුවිය. රතු කමිසකරුවන් මහ හඩින් ගයන මේ වචනවලින් එකක්වත් කලාට නොවැටහෙයි. එහෙත් අන්තිම සටනට …අන්තිම සටනට අන්තිම සටනට .. යන රිද්මයානුකූල සටන්කාමී තාලය නම් ඇගේ ඇඟ මසට ම සවි වී ගියේය.

කලා විනෝදනී පිල්ලේ කිසි දිනෙක නිවෙසින් පිටත මෙතරම් දුරක් තනිවම ගමන් කොට නැත. තමා මේ ඉන්නා ඉසව්ව කොහේදැයි කීමටවත් ඇය නොදනී. ඇරත් තම නිවෙසට යා යුත්තේ කුමන මගකින් දැයි පාරතොට ඇසීමටවත් නොහැක්කේ යා යුත්තේ කොතැනකටද යන්න පිළිබඳව ඇයට අංශු මාත්‍ර කල්පනාවක්වත් නොතිබූ හෙයිනි. දැන් හිරු බැස යෑමට ආසන්නය. පෙළපාලියේ අවසන් පේළියද ඔවුන් දෙදෙනා පසු කැර ගොස් අවසාන හෙයින් බැලූ බැලූ අත නෙත ගැටෙන්නේ මිනිස් පුළුටක් නැති පාලුවට ගිය පරිසරයකි. ජීවිතයේ ප්‍රථම වරට ඇයට භීතිය සහ අසරණ බව දැනිණ. මේ සියල්ලටත් වඩා උග්‍ර ගැටලුව වූයේ අම්මා සහ තාත්තා නිවෙසට ඒමට පෙරාතුව ඇලීසා ද කැටුව තම නිවෙසට යා ගන්නේ කෙසේද යනුයි.

කොයි දෙසට හැරී ගොස් තම නිවෙස සොයාගත යුතුදැයි නිනව්වක් නැතිව කලා විනෝදනී ඒ මේ අත බලමින් විපිළිසරව සිටියදී කොහෙන්දෝ මතු වූ බලු රෑනක් බ්‍රවුන් ඇලීසා වෙත කඩා පැන්නේය. තම ප්‍රදේශය ආක්‍රමණය කර සිටින රතු පීත්ත පටියක් ගෙලවටා වූ අමුතු සුනඛ ධේනුව කෙරෙහි කෝපයෙන් බුරාගෙන ආ බලු රංචුව දුටු සැණින් බ්‍රවුන් ඇලීසා ද ඔවුන්ට එරෙහිව දත් විළිස්සමින් බුරන්නට වූවාය. මේ බලු රංචුව මැද තමන් දෙදෙනා නිසැකයෙන්ම පරදින බව වටහා ගත් කලා පාරේ වැටී තිබූ රීප්ප පටියක් අතට ගෙන සිය සුරතලිය සමඟ පසුබසින්නට වූ අතර එයින් දිරි ගත් බලු රංචුව මහ හඬින් බුරමින් දත් විළිස්සමින් ඔවුන් දෙදෙනා පසුපසම එන්නට වූයෙන් කලා බලු රංචුව දෙසට ගල්කැටවලින් දමා ගැසුවාය. මේ කලබලය මැද පාරේ විරුද්ධ දෙසින් වාහනයක් එනු දුටු කලා වහා පාරේ අනිත් පත්තට දුවගොස් එම රථයට අත පෑවාය.

ඒ සේදවත්තේ තේ කොළ පෙට්ටි මෝලේ ලොරිය බවත් එය මෝදර දක්වා ගමන් කරන බවත් කලාට හොදින් මතක තිබිණ. ‘ ඔහෙප්පලයං ….මේ බල්ලයි කෙල්ලයි නැති තැනක් නෑනේ බං ?’ යි තම ගෝලයාට කී ලොරි රියදුරා ද රථය නතර කෙළෙන් කලා ; බ්‍රවුන් ඇලීසාද රැගෙන ලොරියේ පසුපසට ගොඩවන්නට උත්සාහ කළ මුත් එය අසාර්ථක වූයේ ලොරියේ තට්ටුව ඇගේ හිසටත් උඩින් පිහිටා තිබීම නිසාය. ‘ තමුසේ පොඩ්ඩක් බැහැලා ගිහිං අර බල්ලව පිටිපස්සට දානවකෝ .. ළමයව ඉස්සරහ සීට් එකට දා ගමු …’ යි රියදුරා තම ගෝලයාට කී අතර එයින් ක්ලීනර් නොරිස්සුමට පත්විය. ‘ විලියොං …අයියා තමුසෙත් මේ අහක යන ලෙඩම නේ ඕයි දා ගන්නේ .. ආපූ විදිහටම උංට යන්න කියනවකෝ …කෙල්ල විතරක් නං මදෑ බල්ලෙකුත් පටවන්න ..හුහ් ! ‘ යි කී ගෝලයා කරුකුරු ගාන්නට විය.

මේ අතර බලු රංචුව ද දැන් ලොරිය වටකැර ගෙන බුරමින් හඹා එයි. ඒ අතර පුළුටු කරගත් මුහුණින් යුතුව කලබලයෙන් ඔවුන් දෙදෙනා වෙත පැමිණි ලොරියේ ක්ලීනර් කලා සහ ඇලීසා දෙස බලමින් එරෙව්වේය. ‘ මේ කොහේ යනවද ..ළමයෝ ..තනි පංගලමේ ..අපි හින්දා හොදා ..ඉතිං ..ඔය ළමයා දුවලා ගිහිං ඉස්සරහිං නගින්න ..මං බල්ලව පිටිපස්සට දාන්නං ‘ යි කී ඔහු ; කලාව ඉදිරියට තල්ලු කෙළෙන් ඇය වහා දුවගොස් ලොරියේ වම්පස වූ ඉදිරි අසුනට නැග ගත්තාය. කුඩා කලදී බල්ලකු විසින් සපාකනු ලැබීම නිසා ඔවුන් කෙරෙහි බද්ධ වෛරයෙන් පසු වූ ක්ලීනර් සුනඛයකු තම සිරුරේ ගෑවීම පවා පිළිකුලක් ලෙස සැලකුවේය. මඳ වේලාවක් ලොරිය පසුපස තත්පර වූ හෙතම ‘ ආ හරී ..යං කියමින් කඩිනමින් පැමිණ ලොරියේ ඉදිරිපස අසුනට ගොඩවිය.

රියදුරා සහ ක්ලීනර් අතරමැද ගුලිවී සිටි කලා ඔවුන් ඇසූ ප්‍රශ්නවලට එතරම් හොඳින් පිළිතුරු නොදුන් අතර ඇගේ සිතේ තිබුණේ එකම ප්‍රශ්නයක් පමණි. ‘ අංකල් ඇලීසාව පිටිපස්සට නග්ග ගත්තා නේද ..? ‘ යි ඇය ක්ලීනර් දෙස බලමින් ඇසුවේය. ‘ ඔව් ..ඔව් ඌ ආං ඉන්නව පිටිපස්සේ …ඔය ළමයා කලබල නැතිව යමුකෝ … ‘ යි ඔහු කීවේය. ලොරියේ ඉදිරි අසුන පිටුපසින් කුඩා කවුළුවක් තනා තිබුණේ එහි පිටුපස ඇතුළත බැලීමටය. තමා වාඩිවී වුන් ආසනයෙන් පසුපසට කරකැවී කවුළුව තුළින් හිස රුවා ඇලීසා එහි ඇතුළත සිටින්නේ දැයි විපරම් කිරීමට කලා දෙතුන් වරක් උත්සාහ කළ මුත් ‘ ළමයෝ කලබල වෙලා දඟලන්න ගියොත් දැං මාවත් බිමට වැටෙයි’ කියමින් ක්ලීනර් විසින් ඇය වළක්වනු ලැබුවේය.

ලොරිය මට්ටක්කුලියට පැමිණ නතර කෙරුණු අතර තමාට හුරු පුරුදු පරිසරය නැවත දැකීම නිසා සැහැල්ලු හදින් යුතුව කලාගේ දෙනෙත් සහනශීලී ප්‍රීතියෙන් බබළන්නට විය. ‘ තෑන්කිව් සෝ ..මච් අංකල් ‘ යි දෙතුන් වර කී කලා ලොරි රියදුරාට සහ ක්ලීනර්ට ස්තූති කළාය. ලොරිය නතර කරනවාත් සමගම ඉන් බිමට පීනූ ක්ලීනර් ලොරිය පසුපසට දුව ගොස් ඇලීසාව ඉන් බිමට බස්වන්නාක් මෙන් හඟවා නැවත ඉදිරියට පැමිණ කලාවද බිමට බැස්සූයෙන් කළු දුම්ගොබයක් නංවමින් ලොරිය වේගයෙන් ඉදිරියට ඇදී ගියේය.

එහෙත් ඇලීසා නම් කොයි තැනකවත් පෙනෙන්නට නොවීය. ලොරි රියදුරා කාරුණික වූ නමුත් ක්ලීනර් තමාව බරපතළ රැවටීමකට ලක්කොට ඇති බැව් වහා අවබෝධ වූයෙන් කලා දෙනෙත් පුපුරා යන පමණට වූ ශෝකාවේගයෙන් හැඩුම්බර වූවාය. ඇගේ ලැම කලුගලක් මෙන් බර වූ අතර හුස්ම ගැනුණේ අසීරුවෙනි. ආමර්වීදීයේදී දත් විළිස්සාගෙන ගොරවමින් කඩාපීනූ බලු රැළ මැද තනි වූ ඇලීසා කෙබදු ඉරණමකට ගොදුරු වන්නට ඇත්දැයි බියකරු චිත්තරූප මැවෙන්නට ගත් හෙයින් ඇය සිහි විසංඥව ගියාය.

එක් වැසිබර සිකුරාදා දිනයෙක පාසල නිමවී කලා පා ගමනින් නිවෙස බලා පැමිණෙමින් සිටියා ය. කීස් …කීස් .. හඬ නගමින් දුඹුරු පැහැති බූල් බෝලයක් තමා පසුපසම දැවටෙමින් ඇදී එනු දුටු ඇය ගමන නතර කොට මේ අමුතු බෝලය කුමක්දැයි විපරම් කළාය. ඇය ඒ කීස්.. කීස්.. හඬ නගන බූල් බෝලය ලැමට තුරුළු කොටගෙන ලහි ලහියේ නිවසට දිව්වාය. නිදන ඇඳ මත බූල් බෝලය තැබූ ඇය එය බිමට නොවැටෙන්නට කොට්ට හතරකින් වට කළාය. හවස් යාමයේ නිවෙසට පැමිණි කලාගේ අම්මා නිම්හිම් නැති කෝපයෙන් ගෝරනාඩු කෙළේ ‘ මේ බූල් බෝලය වහාම ගෙදරින් පිටමං කළ යුතු බවට ‘ කලාට තර්ජනය කරමිනි.

වාසනාවකට මෙන් එදින කලාගේ තාත්තා ද වේලපහින්ම නිවෙසට පැමිණි හෙයින් ඔහුගේ නිශේධ බලය පරිදි බූල් බෝලය නිවෙසින් පිටමං කිරීම සඳහා වූ අම්මාගේ යුද ප්‍රකාශය බල රහිත වී ගියේය. එතැන් සිට බූල් බෝලය කලාගේ ජීවිතය බවට පත් වූ අතර ඇගේ සංග්‍රහ සත්කාර මැද දුඹුරු බූල් බෝලය වේගයෙන් ලොකු මහත්වී වැඩුණේ සියලු දෙනාගේම සුරතලා බවට පත්වෙමිනි. ඒ බ්‍රවුන් ඇලීසා මහ පාරේදී කලාට හිමි වූවා සේම මහ පාරේදීම බ්‍රවුන් ඇලීසා ඇයට අහිමි විය.
මේ සිද්ධියෙන් පසුව යළි කිසි දිනෙක කලා විනෝදනී කිසිවකු සමග වචනයක්වත් කතා නොකරන ලෙස සදහටම ගොලු වී ගියාය.

කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයකින් ඇය සුවපත් කළ නොහැකි විය. දැන් කලා විනෝදනීගේ වයස අවුරුදු 57 කි. අවිවාහක ඇය කිසිදු ශාරීරික චලනයක් කෙරෙහි උත්සුක නොවෙයි. කිසිදු දෙයක් කෙරෙහි රුචි නොවෙයි. ඇය පෙනී යන්නේ හුස්ම ගන්නා සුදු අවතාරයක් ලෙසිනි. මීට දශක දෙකකට පමණ පෙර කල්මුණේ ආගමික මධ්‍යස්ථානයක සිටියදී මුලින්ම මට ඇය දැක ගන්නට ලැබිණ. ඊට හේතු වූයේ ඇය විසින් ජීවිතයේ අවසන් වරට අඳින ලද බව කී අමුතු චිත්‍රයක් පිළිබඳව හටගත් කුතුහලයයි .

නුහුරු ලෙසින් ගත් කළු පාට කූරකින් පහුරු ගෑවාක් බඳු සෙන්ටි මීටර 5 ක් පමණ පළලැති පටියක් ඩ්‍රෝවින් කඩදාසිය හරහා අනන්තය තෙක් දිවෙයි. එයින් ඉහළ ස්ථරයේ තවත් සමාන්තර සෙන්ටි මීටර 3 ක් පමණ පළල රතු පටියකි. එය කෙටි පීත්ත පටියක් වැනිය. ඊට ඉහළ ස්ථරයේ දුඹුරු පැහැති කුඩා ජායාවකි. ඒ මිස අන් කිසිවක් මේ චිත්‍රයේ දක්නට නැත. එහෙත් කඩදාසිය පුරා පොල් ගෙඩි සිඟිති අකුරින් එහි තේමාව ලියා තිබිණ.

/ අ -න් -ති – ම -ස-ට-න -ක-ලා /

අබි නැමති මගේ සම වියේ හාදයා මැලේෂියාවෙන් ද කිසිදා මට උච්චාරණය කළ නොහැකි ට්යුසුකෙරො යැයි අනුමානයට හඩ නැගෙන ප්‍රජා වෛද්‍යවරයා ජපානයෙන් ද මොහොමඩ් රිෆායි නම් නීතීවේදියා බංග්ලාදේශයෙන් ද පැමිණ සිටියේ 1999 ජනාධිපතිවරණයේ අන්තර්ජාතික නිරීක්ෂකයන් වශයෙනි. එවකට පැෆරල් සංවිධානයේ ප්‍රධානියා වූ කිංස්ලි රුද්‍රිගු මේ පිරිස මට හදුන්වා දෙමින් මෙසේ කීවේය.

‘ මේ උඹට කල්මුණේ පැත්ත හුරුයි නේ .. මේ කට්ටියත් එක්ක එහේ ගිහිං වරෙං මල්ලී ..’ ඔහුගේ කීම පරිදි මීට පෙරත් එවැනි ගමන් ගොස් පුරුද්දක් තිබූ නිසා අපේ කුඩා කණ්ඩායම කල්මුණේට පැමිණ නවාතැන් ගත්තේ මේ මධ්‍යස්ථානයේ ය. එහි කෑම මේසය ඉදිරිපිට රාමුකර බිත්තියේ එල්ලා තිබූ උක්ත ජායාරූපය දුටු ජපන් වෛද්‍යවරයා ඇසිපිය නොසළා ඒ දෙස බලා සිටියේය. එයින් අන් අය තුළත් හටගත් කුහුල කෙතරම් වීද යත් කලා විනෝදනීගේ කතාව අසන්නට පමණක් නොව හැබැහින්ම ඇය දකින්නටත් ලැබිණ.

ඕනෑම නොවැදගත් බලි කුරුටු ගෑමක් පසුපස ලොකු කතන්දරයක් තිබිය හැකි බව එදා සිට මම තරයේම අදහමි.

– කේ.සී.ජේ. රත්නායක
Silumina/vivara/ @

Leave a Reply

Your email address will not be published.