Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආණ්ඩුව තුළ පොහොට්ටුවේ රාජපක්ෂ පාර්ශවය සහ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බලය වැඩිකරගැනීම සඳහා තියුණු සටහනක නිරත වෙමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ජනතා අප්‍රසාදය නිසා දැනට විතැන් වී ඇති පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කණ්ඩායම යළි ශක්තිමත් කරගැනීම සඳහා එස්.බී දිසානායකගේ මූලිකත්වයෙන් ජනාධිපතිවරයා වෙත බලපෑම් එල්ල කිරීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව අභ්‍යන්තරයේ දියත් වෙමින් ඇතැයි එම ආරංචි මාර්ග හෙළි කරයි.

එහි ප්‍රධානම පියවර වී ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ සනත් නිශාන්තට කැබිනට් ඇමති ධූර ලබා දෙන්නට ජනාධිපතිවරයාට කෙරෙන බලපෑම බව වාර්තා වේ.

මේ අවස්ථාව වනතුරුත් මෙම මන්ත්‍රීවරුන් තිදෙනාට කැබිනට් ඇමති ධූර ලබා දීමේ අදහසක් ජනාධිපතිවරයාට නැති බවත් ඔවුන්ට අමාත්‍ය ධූර ලබා දීම ඉතාම අනවශ්‍ය ප්‍රශ්න රාශියක් නිර්මාණය කරගැනීමක් බව ආණ්ඩුවේ මැදිහත් කණ්ඩායමක අදහස වී ඇති බවත් දැනගන්නට ඇත.

මේ අතර වජිර අබේවර්ධන විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක් කරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තුළ ශක්තිමත් කරගැනීම සඳහා දීර්ඝ වශයෙන් රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇති බව ද එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සමගි ජන බලවේගයේ ප්‍රබල චරිතයක් වූ රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් ආණ්ඩුවට එක්වීමට නියමිත බව ද වාර්තා වේ.

ආණ්ඩුවට එක්වීම සඳහා සූදානමින් සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක් සහත තවත් ප්‍රබල මන්ත්‍රීවරු දෙපළක් තවමත් තමන්ගේ පැමිණීම සම්බන්ධව ස්ථිර ප්‍රකාශයක් සිදුකර නැති බව ද එම ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහට අය-වැයට පෙර ආණ්ඩුව තුළ සිය පාර්ශවය ස්ථාවර කරගෙන අනවශ්‍ය බලපෑම් හසුරුවා ගැනීමේ අවකාශය අහිමි වී ඇතැයි දැනගන්නට ඇත. පවතින පසුබිමේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ සනත් නිශාන්තට කැබිනට් ඇමති ධූර ලබා දෙන්නට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

අයවැයට පෙර නව කැබිනට් සංශෝධනය සිදුවන්නේ නම් එය බොහෝ විට සඳුදා දිනයේ සිදුවනු ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *