කාලයේ විලාසිතාව වූ වින්ටේජ් කැබින් සූට්කේසයක් වමතින් ද රැංගුන් තේක්ක දැවයෙන් කළ බස්තමක් දකුණතින් ද රැගත් විශේෂ කොමසාරිස් ෆ්‍රැන්සිස් දියෝගු රිවේරා දුම්රියෙන් බසින අතරේ තම රවුම් උපැස් යුවළ සහිත මුහුණ වමේ සිට දකුණට අංශක එකසිය අසූවක් කරකවා නිමේෂයකදී හාත්පස නිරීක්ෂණය කෙළේය. ඒ අතර ඔහුගේ අගනා කැන්ගොල් ක්‍රොස් හිස්වැස්ම දුම්රිය මගී වේදීකාව මතට වැටිණ. එය අහුලා දීමට කිහිප දෙනෙකු ඉදිරියට දිව ආ නමුත් සියලු දෙනාටම වඩා ඉස්සර වූ කුඩා පිරිමි ළමයකු තොප්පිය ඩැහැගෙන වේදීකාවෙන් රේල් පාරට පැන පලා ගියේ සියලු දෙනා විමතියට පත්කරවමිනි.
———– ———————- ———————– ———————- —————— —————-
නැති වූ කැන්ගොල් ක්‍රොස් හිස්වැස්ම පිළිබඳව හෝඩූවාවක් සොයමින් ගමේ ගොඩේ ඇවිදිමින් සිට බලාපොරොත්තු කඩවී ගොස් සතියකට පසුව ගම්සභා කාර්යාලයේ වූ ගම්පතිගේ සද්දන්ත කලුවර කැටයම් අසුනේ වාඩි වූ විශේෂ කොමසාරිස් රිවේරා එහි වුන් සේවකයකු ලවා එදින උදේ පාන්දරින්ම විශේෂ නිවේදනයක් ප්‍රචාරය කැර වූයේය.
” ඇස්විද්දගම මහා ඉඩම් නඩුවේ චෝදක චූදිත දෙකොට්ඨාශයේ සාක්ෂි විභාග කිරීමටත් යුක්තිය පසිදලීමටත් ෆ්‍රැන්සිස් දියෝගු රිවේරා රජයේ විශේෂ කොමසාරිස්තුමා විසින් අද දින සිට ක්‍රියාකරනු ඇත. “
දොස්තර රූබන් ද සිල්වා ජේත්තුකාර යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී තම ටක් ටොක් හඩැති දිස්නය විහිදෙන සපත්තු ජෝඩුව දෙසම බලාගත් මුහුණින් යුතුව පැමිණ විශේෂ කොමසාරිස්තුමා ඉදිරියේ පෙනී සිටි අතර ඔහුගේ අතවැසියකු විසින් පිඹුරුපත් සහ ඔප්පු මිටියක් දෑතින්ම ඔසවා ගෙන පසුපසින් පැමිණියේය. ඒ සමඟ ම සාක්ෂි විභාගය ආරම්භ කෙරිණ.
විශේෂ කොමසාරිස් – දොස්තර රූබන් ද සිල්වා .. මා ඔබ ආමන්ත්‍රණය කළ හැටි නිවරදිද ?
දොස්තර රූබන් – එහෙමයි ඔබතුමා නිවරදියි .
වි.කො – ඔබ කුමන වර්ගයේ වෛද්‍යවරයෙක්ද ?
දො. රූ . ( ඒ ප්‍රශ්නයෙන් පුවක් ගසක් මෙන් සිරුර ඍජු කැරගත් දොස්තර රූබන් තම දෙනෙත් ලොකු කොටගෙන විමතියට පත්වූ බවක් පෙන්වමින් මිනිත්තුවක් පමණ නිහඬව සිටි අතර අවසානයේදී කොමසාරිස්ගේ දෙනෙත් පහර තමා දෙසටම යොමු වී තිබෙනු දැක මෙසේ කීවේය )
දො. රූ . – ඔබතුමාගේ ප්රශ්නය පැහැදිලි නෑ කොමසාරිස්තුමණි .
වි.කො. – ඔබ ශල්‍ය වෛද්‍යවරයෙක්ද නැතිනම් සර්වාංග වෛද්‍යවරයෙක් ද ?
දො. රූ. – මං සර්වාංග වෛද්‍යවරයෙක්
වි.කො. – ඔබ එක දවසකට රෝගීන් කී දෙනෙකුට ප්‍රතිකාර කරනවද ?
දො.රූ.- සාමාන්‍යයෙන් විසිපහකට විතර සමහරදාට එන ලෙඩ්ඩු ඊටත් වඩා වැඩි වෙනවා .
වි.කො. – මේ පළාතේ වැඩිපුර සිටින්නේ කුමන වර්ගයේ රෝගීන්ද ?
දො.රූ. – හපොයි නොයෙක් ජාතියේ ලෙඩ්ඩු මෙහෙ ඉන්නව
වි.කො. – නෑ මං අහන්නේ මෙහේ වැඩිපුර ඉන්නේ නිධන්ගත රෝගීන්ද නැතිනම් බෝවන රෝගවලින් පෙළෙන අයද කියලයි.
දො.රූ. – නිධන්ගත රෝගීන් තමා ඉන්නේ බෝවන රෝග එහෙමට කියලා නෑ.
වි.කො. – මේ ගමේ පවුල් ගෙවල් එකසිය එකක් තියෙනව ඒ එක පවුලක නිධන්ගත රෝගීන් කී දෙනෙක් විතර ඉන්නවද ?
දො. රූ. – මං එහෙම ගණං හදලා බලලා නෑ කොමසාරිස්තුමණි.
වි.කො . – ඔබ මේ පළාතේ කොයි තරම් කාලයක් තිස්සේ රෝගීන්ට ප්‍රතිකාර කරනවද ?
දො. රූ. – අවුරුදු හයකටත් වඩා වැඩියි කොමසාරිස්තුමණි.
වි.කො. – හොඳයි අවුරුදු හයක් තිස්සේ ඔබට ගණං හදාගන්න බැරි වුණ ලෙඩ්ඩු ගාන දැං මං කියන්නං අපස්මාර ලෙඩ්ඩු 2 යි ඇදුම ලෙඩ්ඩු 6 යි ආත්‍රයිටීස් ලෙඩ්ඩු 6 යි අතපය කැඩුණු ලෙඩ්ඩු 4 යි හතළිස් ඇඳීරිය නිසා ඇස් පෙනීම දුර්වල වුණු අය 11 යි. ස්නායූ ආබාධ තියෙන අය 6 යි. හේතුව හොයා ගන්න බැරිව ඔත්පල වුණ අය 16 යි. එතකොට මුළු එකතුව 51 යි. මේ 51 න් ප්‍රතිකාර කරන්න හැකියාව තියෙන්නේ 25 කටත් අඩු ගණනක් … මේ ගණන 30 න් බෙදුවොත් ඔබට එක දවසකට ඉන්නේ එක ලෙඩෙක් විතරයි.සමහරදාට එක ලෙඩෙක්වත් නෑ. ඒක එහෙම නං ඔබ කොහොමද කියන්නේ දවසකට රෝගීන් විසිපහකට විතර ප්‍රතිකාර කරනවයි කියලා … මගේ ප්‍රකාශය ඔබ පිළිගන්නවද ?
දො. රූ. ( නිහඬව සිටී.)
———————– ————– ———————- —————– ————— —————
එදින රාත්‍රී නවයට පමණ දොස්තර රූබන් කිසිවකුටත් නොපෙනෙන ලෙස විශේෂ කොමසාරිස් රිවේරාගේ නිල නිවස්නයට පැමිණියේ තෑගි මලු පොදියක් ඔසවා ගෙනය. පසුදින කුකුළා හඬලන ජාමය තෙක් ඔවුන් දෙදෙනාගේ ආගිය කතා සාමීචිය අවසන් නොවූ නමුත් ඉස්තරම් ස්පාඤ්ඤ රතු වයින් බෝතල් හත අටක් හිස් වී තිබිණ. පාන්දර 06.30 ට තම සේවකයා කැඳවූ විශේෂ කොමසාරිස් රිවේරා ඔහුට නියෝගයක් දුන් අතර උදෑසන 09.00 සිට එය ප්‍රචාරය කෙරිණ. –
” ඇස්විද්දගම ඉඩම් නඩුවේ සාක්ෂි විභාගය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. එතෙක් සියලු දෙනා සාමයෙන් සිටිය යුතු බවට විශේෂ කොමසාරිස්තුමා නිවේදනය කැර සිටී.-“
මේ අතරතුර තම අතවැසියන් සමඟ රයිෆලයක් සහ බිලී පිත්තක් රැගෙන නිල නිවෙසින් පිටත්ව ගිය විශේෂ කොමසාරිස් රිවේරා මාන කොකුන් දඩයම් කරමින් සහ මාලු බාමින් මුළු දිවාකාලයම විනෝදයෙන් ගතකළ අතර රාත්‍රී 09.00 සිට සාදය ආරම්භ කෙරුණේ දොස්තර රූබන් විසින් කැඳවා ගෙන එනු ලැබූ පළාතේ පොලිස් මුලාදෑනියා ද සමගිනි. මෙතැන් සිට සෑම රාත්‍රියකම විශේෂ කොමසාරිස්ගේ නිල නිවෙස උත්සවසිරියක් ගත්තා සේම දවසින් දවස ඊට එක්වූ පිරිස ඉහළ නැගි අතර විශේෂ කොමසාරිස් රිවේරා දොස්තර රූබන් පළාතේ පොලිස් මුලාදෑනි ගිල්බට් ප්‍රසිද්ධ නොතාරිස් ඇන්තනී සහ ගම්සභාපති පීටර් එකම කණ්ඩායමක නිත්‍ය සාමාජිකයෝ වූහ. එක් දිනෙක සාදය අතරතුර පදම ඉක්මවා සිටි විශේෂ කොමසාරිස් විසින් තම අතවැසි සේවකයාගේ සුළු අතපසුවීමක් දැක සියලු දෙනා ඉදිරියේ නව නින්දාවෙන් ඔහුට බැණ වැදුණු අතර ‘ මේ ඇස්විද්දගමේ ඉන්න මොළ නැති හරක් රංචුව ඉතා ඉක්මනින් මට්ටු කොට දොස්තර රූබන්ට රිසි ලෙස ඉඩකඩම් භුක්ති විඳීමේ අවසරය ලබා දෙන බවටත් ‘ වහසි බස් දෙඩුවේය. ඒ සිද්ධියෙන් පසුව විශේෂ කොමසාරිස්ගේ අතවැසියා ගැමියන් අතරට යමින් එමින් සිදුවන සියලු දෙයක්ම පිළිබඳව ඔවුන්ට ඔත්තු සැපයුවේය.
————————— ——————– ——————– ——————– —————– ——–
විශේෂ කොමසාරිස්ගේ නිල නිවෙසේ වුන් අතවැසි සේවකයා විසින් ගම්වාසීන් වෙතට වරින්වර ගෙන එනු ලැබුවේ දිනෙන් දින ඔවුන්ගේ නොරිස්සුම තීව්ර කරවන කතන්දරය. ‘ උඹලා කාටවත් ඔය එක බිම් අගලක් වත් භුක්ති විඳින්න ලැබෙන්නෑ … දොස්තර රූබන් ළඟ ඔප්පු මිටියක් තියෙනව . පොලිස් ඉන්ස්පැක්ටර් නොතාරිස් රාළහාමි ගම්සභාපති වගේම මේ විශේෂ කොමසාරිස් කියන වාහෙත් එක කල්ලියක්.. උන් සේරම දැං සතියක් තිස්සේ එකට කනව බොනව නටනව ..රෑ එළි වෙනකං ඔය ඉඩම ගැන කුමන්ත්‍රණ කරනව උඹලට අන්තිමට මහපාර විතරයි.. කරන දෙයක් දැම්මම කරහල්ලා ..’ යි ඔහු කී අතර ආවේග ඉහවහ ගිය ගම්වැසියන් පිරිසක් එක් දිනෙක රාත්‍රියේ විශේෂ කොමසාරිස්ගේ නිවෙසට ගල් ගැසුවේය. දොස්තර රූබන් පොලිස් ඉන්ස්පැක්ටර් ගිල්බට් ඇතුළු කණ්ඩායම ඒ වනවිටත් පදමට රත්වී සිටියේය.
පසුදින පාන්දරින්ම තම සේවකයා කැඳවූ විශේෂ කොමසාරිස් රිවේරා ඔහු ලවා ගම පුරා හදිසි නියෝගයක් ප්‍රචාරය කෙළේය.
– ” ඇස්විද්දගම ඉඩම් නඩුවේ අවසන් සාක්ෂි විමසීම සහ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද දිනයේදී සිදු කරනු ලැබේ.- “
එහෙත් එකී නිවේදනය ප්‍රචාරය කිරීමටත් පෙර එහි පැමිණ සිටි ප්‍රාදේශිය පුවත්පත් වාර්තාකරුවන් සිද්ධිය වාර්තා කිරීම සඳහා ගම්සභා කාර්යාලය අසල රොක්වී සිටි අතර හරියටම පෙරවරු 09.00ට විශේෂ කොමසාරිස් පෙරටුව පිළිවෙළින් දොස්තර රූබන් නොතාරිස් ඇන්තනි ගම්පති පීටර් සහ පොලිස් මුලාදෑනි ගිල්බට් දැඩි රැකවල් මැද ගම්සභා කාර්යාලයට පැමිණියේ උදාරම් ලීලාවෙනි.
ගම් සභාපතිගේ විශාල කලුවර කැටයම් ආසනයේ ගරු ගාම්භීරව වාඩි වූ විශේෂ කොමසාරිස් රිවේරා මුලින්ම ගම්වාසීන් අමතා කතා කෙළේ මවාගත් කෝපයකිනි. “පහුගිය සතියේ තමුන්නැහැලා ක්‍රියාකළ හැටි ශිෂ්ට සම්පන්න මිනිසුන් හැටියට කොහෙත්ම අනුමත කරන්න බෑ. මෙතැන් සිට කොයි කවුරු නමුත් නීතියට සහ ශීලාචාරකමට විරුද්ධව ක්‍රියා කළොත් හිරබාරයට ගන්නව. කලබල කරන්න ආවෝත් පූර්ව දැනුම් දීමක් නැතිව වෙඩි තියන්න මම විශේෂ පොලිස් බලකායට නියෝග කරලයි තියෙන්නේ ‘ යි ඔහු කියමින් සිටින අතර පැමිණ සිටි පුවත්පත් වාර්තාකරුවෝ එකිනෙකාගේ මුහුණු බලා ගත්තෝ මේ කුමන නීතියක් දැයි නිහඬව ප්‍රශ්න කරන ලීලාවෙනි. ඔවුන්ගේ අභිනයන් නිරීක්ෂණය කළ විශේෂ කොමසාරිස් ඒ නොදුටුවාක් මෙන් යළිත් මෙසේ කීය. ‘ පහුගිය සතියේ දොස්තර රූබන් නොතාරිස් ඇන්තනී ගම් සභාපති පීටර් වගේම පොලිස් මුලාදෑනි ගිල්බට් සහ මම මගේ නිල නිවෙසේ රෑ බෝවෙනතුරු නෙවෙයි සමහරදාට පහුවදාට එළිය වැටෙනකම් මේ නඩුව ගැන විස්තර කතා කළා. ඉතිං නිකංම නිදි මරන්න බැරි නිසා අපි වයින් ටිකක් එක්ක දඩමසුත් කෑවා. ඔය අතරේ හොඳ කපිරිඥ්ඥා බයිලා සිංදුත් කිව්වා … කොහොම නමුත් අන්න ඒ දවස් ටිකේ අපි බොහොම විනෝදෙන් හිටියා වගේම එකිනෙකාව ඉතා හොඳට හඳුනා ගත්තා .. ඉතිං ඒ අනුව මට මේ දැං වුණත් තීන්දුව ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. නමුත් මං සාධාරණ මිනිහෙක් බව ඔප්පු කරන්න වුවමනා නිසා දෙපැත්තටම පැය දෙකක් දෙනව තම තමන්ගෙ හිමිකම් අයිතිය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කරන්න ” යි ඔහූ ගාම්භීරව කීවේය.
ඒ සමඟ ම නැගී සිටි දොස්තර රූබන් දැඩි විශ්වාසයකින් පියවර තබමින් ඇවිද ගොස් ඔප්පු තිරප්පු මිටියක් විශේෂ කොමසාරිස් වෙත බාර දුන් අතර ඔවුන් දෙදෙනා වෙතින් එවිට ප්‍රකට වූයේ එය කල්තබා කතිකා කැර ගත් ගිවිසුමක් අනුව සිදු වූ දෙයක් ලෙසිනි. ඉතා ප්‍රීතිමත් කුලුපග ලීලාවෙන් ඔප්පු මිටිය අතට ගත් විශේෂ කොමසාරිස් දොස්තර රූබන් දෙස බලා කාටත් පෙනෙන ලෙස ඉගි මැරුවේය. අනතුරුව ඔහු ගැමියන් දෙස බලා මෙසේ කීවේය. ” කෝ තමුන්නැහැලාගේ ලියවිලි කඩදාසි බලපත්‍ර ඔප්පු තිරප්පු .. ඉදිරිපත් කරන්න ” යි යනුවෙන් නැගුණු ප්‍රකාශය හමුවේ ගැමියන් අතර නොසන්සුන්තාව සහ කසුකුසුව මතුවිය. ” මෙතන කච බච ගාන්න එපා .. කෝ තමුන්නැහැලාගේ ඔප්පු තිරප්පු … වෙලාව නාස්ති නොකර ඉදිරිපත් කරන්න .. ‘ යි විශේෂ කොමසාරිස් දෙවැනි වරටත් නිවේදනය කෙළේය. එහෙත් එකම හිමිකම් ඔප්පුවක්වත් ඉදිරිපත් කිරීමට එකම ගැමියකුවත් ඉදිරිපත් නොවූයෙන් විශේෂ කොමසාරිස්වරයා නැවත මෙසේ කීවේය . ‘ මේ තුන්වැනි සහ අවසාන නිවේදනය දොස්තර රූබන් සිල්වා හැරෙන්නට අන් යම් කෙනෙකුට ඇස්විද්දගම – කුරුඳුයාය අක්කර 1521 ඉඩම පිළිබඳව නීත්‍යානුකූල හිමිකම් ඔප්පු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න ‘ එහෙත් කිසිවකුත් එකම ඔප්පුවක්වත් පෙන්වීමට ඉදිරිපත් නොවූ නමුත් ගැමියන් අතරින් එක් රළු කෝපාන්විත හඬක් මතුව ආවේය. ” මේක යකාගේ නඩුවක් නේ යකෝ .. ඕවා අපි පරම්පරාවෙන් භුක්ති වින්ද ඉඩම්. මීට කලින් කොයි කවුරුවත් අපෙන් ඔප්පු ඉල්ලුවේ නෑ … ‘ යි වයෝවෘද්ධ ගැමියකු කෑගසමින් සිටියදී සන්නද්ධ පොලිස් නිලධාරින් දෙදෙනකු විසින් වහා කුදලා ගනු ලැබූ ඔහුව ගම්සභා කාර්යාලයෙන් ඉවතට ඇදගෙන යනු ලැබිණ. තෘප්තිමත් සිනහවකින් එදෙස බලා වුන් විශේෂ කොමසාරිස් රිවේරා තම හඬ අවදි කෙළේය.
‘ හොඳයි සියල්ල පැහැදිලියි. මට දැං තීන්දුව ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. නමුත් අපි හැම විටම නීතියේ සම්ප්රදාය රැකිය යුතුයි .. අන්න එතකොටයි තීන්දුව පරිපූර්ණ වෙන්නේ .. ‘ යි කී ඔහු දොස්තර රූබන් විසින් බාර දෙනු ලැබූ ඔප්පු මිටිය අතරින් අන්තිම කැමති පත්‍රයක් ඉවතට ගත්තේය. ‘ මෙන්න මේ ලේඛනය පමණක් මම නිකමට තෝර ගත්තා .. මේකේ අක්ෂර අස්සන් සහ මහපටැගිලි සලකුනු අස්සන නිකමට සම්ප්‍රදායට වගේ තහවුරු කර ගත්තම දොස්තර රූබන්ට අක්කර 1521 කේ නිරවුල් භුක්තිය හිමිවෙනවා … ” යි ඔහු කියන විට ගැමියන් අතර නොසන්සුන්තාවක් පැතිර ගිය නමුත් එය ඒ සැණින්ම යටපත් විය.
” ප්‍රසිද්ධ නොතාරිස් ඇන්තනී විසින් සහතික කරන ලද පළාත් පොලිස් මුලාදෑනි ගිල්බට් සහ ගම් සභාපති පීටර් විසින් සාක්ෂි ලෙස අස්සන් කරන ලද ජේන් මාගරීටා බර්නදෝවා මහත්මියගේ අන්තිම කැමති පත්‍රය අනුව ඇයට පරම්පරාවෙන් උරුම වූ අක්කර 1521 යි පර්’ 12 ක කුරුඳු ඉඩම දොස්තර රූබන් ද සිල්වා මහත්මාට ඇගේ මරණයෙන් පසුව භුක්තියට හිමිවෙයි . .. ” යනුවෙන් කියවන්නට පටන් ගත් විශේෂ කොමසාරිස් රිවේරා ; පිළිවෙළින් නොතාරිස් ඇන්තනි – ගම් සභාපති පීටර් සහ පොලිස් මුලාදෑනි ගිල්බට් යන අය තමා ඉදිරියට කැදවා එහි ඇති අස්සන් ඔවුන්ගේ දැයි විමසූ අතර ඔවුන් තිදෙනාම එකී අස්සන් තම තමාගේ බවට තහවුරු කෙළේය.
අනතුරුව දොස්තර රූබන් ද සිල්වා තමා හමුවට කැඳවූ විශේෂ කොමසාරිස් ඉතා මිත්රශීලීභාවයක් ආරූඪ කැර ගෙන ඔහුට කතා කෙළේය.
වි.කො. – මගේ සුබ පැතුම් ඔබට ! ඔබේ අනන්‍යතාව තහවුරු කිරීම නීතිය අනුව කළ යුතුයි ..ඉන් පසුව ඔබට රිසි ලෙස ඉඩමේ අයිතිය භුක්ති විදින්න පුළුවන්. ඉතිං ඒ නිසා මම ප්‍රශ්න දෙක තුනක් ඔබෙන් අහනවා. ඊට ඔබේ විරුද්ධත්වයක් තිබෙනවාද ?
දො.රූ. – අපොයි නෑ කොමසාරිස්තුමණි.
වි.කො. දොස්තර රූබන් ද සිල්වා … මා ඔබ ආමන්ත්‍රණය කළ ආකාරය නිවරදිද ?
දො.රූ. – එහෙමයි ඔබතුමා නිවරදියි කොමසාරිස්තුමණි.
වි.කො. – හොඳයි එහෙම නම් මට ඔබගේ වෛද්‍ය බලපත්‍රය ඉදිරිපත් කරන්න .. දොස්තර රූබන් ද සිල්වා.
( මෙතෙක් ඉතා විනෝදාත්මක ඉරියව්වක් පාමින් පිළිතුරු දෙමින් සිටි දොස්තර රූබන් ද සිල්වා ගල් පිළිමයක් උන්හිටි ගමන් පැත්තකට ඇලවෙන්නාක් මෙන් කඩා වැටෙන්නට ආසන්නව තුෂ්ණිම්භුතවම සිටියේය. විශේෂ කොමසාරිස් රිවේරා ඔහුගෙන් දෙවරක් ම වෛද්‍ය බලපත්‍රය ඉල්ලා සිටි මුත් රූබන් නිරුත්තරවම වුන්නේ සිදුවන දෙය අදහා ගන්නට නොහැකි අයුරක් ප්‍රකට කරමිනි. )
වි.කො. – ඇයි ඔබ නිහඬ … තව මොහොතකින් ඔබ සරුසාර ඉඩම් අක්කර 1521 ක නීත්‍යානුකූල හිමිකරුවා බවට පත්වෙනවා. ඉතිං මා ඔබෙන් ඉල්ලන්නේ ඉතා සුළු දෙයක් විතරයි. කරුණාකර ඔබේ අනන්‍යතාව තහවුරු කරන්න. මේ තමා ඔබෙන් මා එය ඉල්ලා සිටින තෙවැනි සහ අවසන් අවස්ථාව.
( එහෙත් දොස්තර රූබන් දිගටම නිහඬතාව පළ කෙළේය )
රූබන් දෙස එක් බැල්මක් පමණක් හෙලූ විශේෂ කොමසාරිස් රිවේරා විසින් නොතාරිස් ඇන්තනීව නැවත තමා හමුවට කැඳවනු ලැබීය.
වි.කො. – ප්‍රසිද්ධ නොතාරිස් ඇන්තනී ඔබ දැන් ටික වේලාවකට පෙර ජේන් මාගරීටා බර්නදෝවා මහත්මියගේ අන්තිම කැමති පත්‍රයට ඇය විසින් ඔබ ඉදිරියේ අස්සන් කළ බවත් එහි ඇති සහතික කළ අස්සන ඔබගේ බවත් පිළිගත්තා නේද ?
නො. ඇ.- එහෙමයි කොමසාරිස්තුමණි.
වි.කො. – එහි දිනය ලෙස දැක්වෙන්නේ 1954 ජූනි 02 නේද .. යි කී විශේෂ කොමසාරිස් එකී අන්තිම කැමති පත්‍රය නොතාරිස් ඇන්තනී අතට දුන් අතර ඔහු විසින් එම දිනය නිවරදි බවට තහවුරු කරන ලදී. එහෙයින් විශේෂ කොමසාරිස් නැවත ඔහුගෙන් ප්‍රශ්න ඇසීම ආරම්භ කෙළේය. ‘ ඔය අන්තිම කැමති පත්‍රයට අස්සන් කළ දවසට මාස 09 යි දින 13 කට පසුව තමා රැජිනගේ සංවත්සරය යෙදුණේ ..ඔය අලවලා තියෙන මුද්දරය නිකුත් වුණෙත් එදාමයි. එතකොට මෙතන පොඩි පටලැවිල්ලක් වගේ තියෙනව නේද .. ? ඔබට පුළුවන්ද අපට ඒක වුණේ කොහොමද කියලා පෙන්වා දෙන්න. ?
( මෙහිදී රූබන් මෙන්ම ඇන්තනී ද දිගටම මුනිවත රකින්නට විය.)
ඉන් අනතුරුව පොලිස් මුලාදෑනි ගිල්බට් සහ ගම් සභාපති පීටර් යන දෙදෙනා තමා ඉදිරියට කැඳවූ විශේෂ කොමසාරිස් ඔවුන් දෙදෙනා ගෙන් ම ඇසුවේ එකම ප්රශ්නයකි.
වි.කො. – ජේන් මාගරීටා බර්නදෝවා මහත්මිය ඇගේ අන්තිම කැමති පත්‍රයට ඔබ දෙදෙනා ඉදිරියේ අස්සන් කළ බවත් ඊට සාක්ෂියක් වශයෙන් ඔබ දෙදෙනාත් ඊට අස්සන් කළ බව මීට ටික වේලාවකට පෙර පිළිගත්තා නේද ?
( ඊට ප්‍රතිචාර වශයෙන් පොලිස් මුලාදෑනි ගිල්බට් සහ ගම්පති පීටර් හිස සලා ඊට එකඟතාව පළකළ අතර විශේෂ කොමසාරිස් එයින් කෝපයට පත්විය.)
වි.කො. – ගොලුවො වගේ මෙතන ඔලුව වනන්න එපා .. කියන දෙයක් කාටත් ඇහෙන්න කියන්න . ඔය ඔබ දෙන්නා ඉදිරියේ අස්සන් කළයි කියන ජේන් මාගරීටා බර්නදෝවා මහත්මිය මිය ගියේ ඔය සිද්ධියට අවුරුදු 4 යි මාස 2 කට කලින් බව පොදු සුසාන භූමියේ ලේඛනවල සඳහන් වෙනවා. එතකොට මැරුණු කෙනෙක් තමා නැවත ඇවිත් මේ ඔප්පුවට අස්සන් කරලා තියෙන්නේ .. නෑ මං අහන්නේ ඉන්ස්පැක්ටර් පොලිස් ගිල්බට් … ඔබට හිතෙන්නේ නැද්ද නිකං හොල්මං වගේ කියලා .. ඒ වගේම මේ ගම්වැසියන්ගේ නායකයා ගම්සභාපති පීටර් ඔබට නිකං මළකුණු ගඳක් වගේ දැනෙන්නේ නැද්ද හැබෑට ඈ … ‘
( රූබන් සහ ඇන්තනී අනුව යමින් මෙහිදී ගිල්බට් සහ පීටර් යන දෙදෙනාත් නිහඬවම සිටියේය)
ඇස්විද්දගම ඉඩම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම තවත් පැයකින් කල් දමන බව කී විශේෂ කොමසාරිස් රිවේරා කලුවර කැටයම් පුටුවෙන් නැගිට ගිය අතර ඒ සමඟම ගම්සභා කාර්යාලය එකම කච බචයකින් ගිගුම් දෙන්නට විය. බොහෝ දෙනා බොහෝ දේ එකිනෙකා අමතා කියන්නට උත්සුක වූ නමුත් ඒ කිසිවක් කිසිවකුට පැහැදිලිව ඇසුණේ නැත. එහෙත් සියලු දෙනා තුළින්ම ප්‍රකට වූයේ අදහාගත නොහැකි යමක් සිදුවෙමින් තිබෙන්නේය යන කුතුහලයයි. එහෙයින් ගම්සභා කාර්යාලයෙන් කිසිවකුත් පිටතට නොගියා පමණක් නොව මෙතෙක් එහි නොපැමිණි ගම්වැසියන් ද නොයෙක් දෙසින් ඇදී එන්නට වූ නිසා ගම්සභා කාර්යාලයේ බිත්ති පුපුරන තරමට එහි තදබදය උත්සන්න විය.නියමිත පැය ඉක්ම යෑමට මිනිත්තුවක් ඉතිරිව තිබියදී පෙරළා ගම්සභා කාර්යාලයට පැමිණි විශේෂ කොමසාරිස් රිවේරා තම තීන්දුව ප්‍රකාශ කිරීම ආරම්භ කෙළේය.
‘ දැං ඉතිං මට තීන්දුව දෙන්න වෙන්නේ .. ඉඩමේ අයිතිකාරයෝ සාක්ෂි කාරයෝ කවුරුවත්ම නැති වෙලාවක නිසා ඔවුන්ගේ හිත වෙනස් වුණොත් ආපහු හැරිලා එයි කියලා හිතලා අපි තව මිනිත්තු කිහිපයක් බලා ඉම්මු … ඒ ටිකේදී මං කියන්නං කවුරුත් දන්න කතාවක් … අලුත් ගිවිසුම් පොතේ තියෙනවා මාර සිද්ධියක් .. ඔන්න සබත් දවස උදාවුණා .. ඉතිං මරණයට තීන්දු වුණු මිනිහෙකුට අභය දානය ලැබෙනව .. ඔය දවස වෙත්දී කුරුසයේ ඇණ ගහලා මරන්න නියම වෙච්ච දෙන්නෙක් හිටියා එක්කෙනෙක් මිනීමරුවෙක් ..පල්හොරෙක් වූ බරබ්බාස් .. අනෙක් කෙනා තමන් දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා කියල කීව නාසරෙත්හි යේසූස් .. ඉතිං අධිකරණ නායක පිලාත් තීන්දු කළා නිර්දෝෂී මිනිහෙක් වූ නාසරෙත්හි යේසූස්ට සමාව දෙන්න. නමුත් මොකද වුණේ … නගරයේ ගෑනූ රොත්තක් තව පූජක නඩයක් එක්ක ඇවිත් මහා උද්ඝෝෂණයක් කළා .. බරබ්බාස්ව නිදහස් කරන්න කියලා .. ඉතිං පිලාත් ඇහුව අර ගෑනුන්ගෙන් මොකෝ උඹලා මොකද මේ පල්හොරෙක් වූ බරබ්බාස්වම නිදහස් කරන්න කියලා බොරු සාක්ෂි දෙන්නේ කියලා .. එතකොට අර ගෑනු රොත්තයි පූජක නඩයයි එක හෙළා දිවුරලා පලි ගහලා කිව්වා .. නෑ නෑ .. අපිට බරබ්බාස්වමයි ඕනෑ කියලා .. ඉතිං අන්තිමට පල්හොරා බරබ්බාස් නිදහස්වෙලා ගෙදර ගියා .. දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියල කිව්ව නාසරෙත්හි යේසූස් කුරුසයේ මැරුම් කෑවා .. ඉතිං ඊට පස්සේ වෙච්ච දේ කවුරුත් දන්නවනේ .. නමුත් උඹලා කවුරුවත් දන්නෑ බරබ්බාස්ට මොකද වුණේ කියලා .. දැං මෙතන පැයකට කලිං හිටිය දොස්තර රූබන් .. පොලිස් ඉන්ස්පැක්ටර් ගිල්බට් නොතාරිස් ඇන්තනී ගම්සභාපති පීටර් .. උං හතර දෙනාම පැවත එන්නේ බරබ්බාස් නිකායෙන්. මොකද උං හොර ඔප්පු හදලා මුළු ගමක්ම කාලයක් තිස්සේ මංකොල්ල කෑවා .. ඔය රූබන් කියන එකා දොස්තර කෙනෙක් නෙවෙයි .. ඌ බොරුකාරයෙක් .. මං ඒක උගේ කටිංම අල්ල ගත්තා .. ඊ ළඟට පොලිස් ඉන්ස්පැක්ටර් ගිල්බට් .. නොතාරිස් ඇන්තනී ගම්සභාපති පීටර් මුං තුන් දෙනාම ආණ්ඩුවේ නියෝජිතයෝ .. නමුත් උං අර රූබන්ගෙන් ජරාව කෑවා මිස මේ ගමට විනයක් හැරෙන්න කරපු සෙතක් නෑ .. උංගේ වියදමින් සතියක් පුරා කමින් බොමින් ජොලියේ ඉන්න අතරේ ඔය සේරම මං උංගේ කටවල්වලින්ම වමාර ගත්තා .. නමුත් දැං පැයකට කලිං මං උන්ට පැනලා යන්න ඉඩ හැරියා .. ‘ යි විශේෂ කොමසාරිස් කියත්දී ගම්වාසීන් අතර නොරිස්සුම තීව්ර විය. ‘ දැං ඉතිං උඹලා බොරු වීරයෝ වගේ මෙතන ජරමර කරන්න හදන්න එපා .. උං හතර දෙනා ආයේ කවදාවත් මේ ගමට එන්නෑ .. මේක මේ විදිහට බේරුම් කර ගත්තේ නැත්තං උඹලට කවදාවත් ඔය ඉඩම් භුක්ති විඳින්න ලැබෙන්නෑ .. මොකෝ ඔය ඉඩම උඹලට අයිති බව කියන්න එකම කඩදාසියක්වත් උඹලා ළඟ නැති බව මං හොදාකාරව දන්නවා. ජේන් මාගරීටා බර්නදෝවා ළමාතැනිට පෙළපත් උරුමෙට ලැබුණු ඔය ඉඩම එයාගේ මරණයෙන් පසුව කාටවත් අයිති නෑ .. ‘ යි කී විශේෂ කොමසාරිස් රිවේරා හඬ බරකොට මෙසේ කීවේය ‘ මට ඔය ඉඩමේ ඇත්ත කතාව දැන ගන්න ලැබුණේ මං මේ ගමේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්ද නිසයි .. හැම මිනිහෙක්ම හැම ගෑනියෙක් එක්කම වංහුං කතා කරපු නිසයි .. ඒ විතරක් නෙවෙයි අර පල්හොරුත් එක්ක කන්න බොන්න නටන්නත් ගියානේ … ඉතිං ඇයි මං එහෙම කෙරුවේ … ? වෙන මොහොකටවත් නෙවෙයි .. මගේ නැතිවෙච්ච කැන්ගොල් ක්‍රොස් තොප්පිය හොරකම් කරපු එකාව හොයා ගන්න තමා මං එහෙම කෙරුවේ .. ‘ යි ඔහු කියත්දී ගම්සභා කාර්යාලයේ බිත්ති දෙදරන්නට උසුලු විසුලු සිනාහඩ නැගිණ.