දින පහක් තිස්සේ තමන්ට ඉන්ධන නොලැබුනේ යැයි පවසමින් මහනුවර – යාපනය A9 මාර්ගය නාඋලින් හරස් කර ටිපර් රථ රියදුරන් පිරිසක් ඊයේ (05) විරෝධතාවයක නිරතවූහ.
පැයකට ආසන්න කාලයක් දිගු කන්ටේනර් රථ හා ටිපර් රථ හරස් කරමින් ඔවුහු ඉන්ධන ඉල්ලා සිටියහ.
මෙම තත්ත්වය හමුවේ මහනුවර යාපනය A9 මාර්ගය භාවිත කරන රථ දෙපසට දිගු පෝලිම් දක්වා විහිදි ගිය අතර විරෝධතාකරුවන් A9 මාර්ගයේ වාඩි ලා ගනිමින් කියා සිටියේ තමන්ගේ රථ වලට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් තමන් ඉතා අසරණ තත්ත්වයට පත්වී ඇති බවයි.
මේ අතර දඹුල්ල සිට පැමිණි ලංගම බස් රථයක් මාර්ගය වැසීම හේතුවෙන් නවතා තිබිම හමුවේ උරණ වූ පුද්ගලයෙකු විරෝධතා කරුවන්ට දොස් පැවරීමට යාමෙි දී ගැටුම් කාරි තත්ත්වයක් ඇති වීමට ගිය අතර පසුව නාඋල පොලිසිය මැදිහත් වී එය සමනය කරන ලදි.
A9 මාර්ගයේ දෙපස යතුරුපැදි, ත්‍රි රෝද රථ, බස් හා වෑන් ඇතුළු බොහෝ රථවාහන දිගු පෝලිම් දක්වා වර්ධනය වීමට වැඩි වේලාවක් ගත නොවු අතර දඹුල්ල දෙසින් පැමිණි ගිලන් රථයක් ද මේ අතර සිරවිය.
පසුව විරෝධතාකරුවන් හා පොලිසිය එක්වි ගිලන් රථයට ගමන් කිරිමට අවස්ථාව සලසා දීමෙන් අනතුරුව යළි මාර්ගය වසා දැමීමට විරෝධතා කරුවෝ පියවර ගත්හ.
කෙසේවෙතත් පසුව සිපෙට්ටෝ පිරවුම් හලේ පාලනාධිකාරිය සමග ස්ථානාධිපති වරයා කල සාකච්ඡාවකට අනුව හවස් වරුවේ ලැබෙන ඉන්ධන වලින් සිය නිලධාරියෙකුගේ අධික්ෂය යටතේ ටිපර් රථ රියදුරන්ට අවශ්‍ය ඉන්ධන සාධාරණ අන්දමින් බෙදා දීමට කටයුතු කරන ලදි.
ඒ අනුව හවස් වරුවේ ලැබෙන ඉන්ධන තොගයෙන් ටිපර් රථ රියදුන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඇති වු එකගත්වය මත යළි ඒ නවය මාර්ගය විවෘත කෙරිනි.





