ඊයේ (25) දින වාර්තා වූ කොරෝනා රෝගීන් 40 දෙනා ගෙන් 20 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු නිලධාරින් බවත් ඊට අමතරව නාවික නිලධාරිනියක් සමග විවාහ වී සිටින හමුදා නිලධාරියෙක්ටද වෛරසය වැලදී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඊයේ සිදුකළ PCR පරීක්ෂණ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් 10 දෙනෙක්ට සහ එම කඳවුරේ සිට නිවාඩු ගොස් සිටින නිලධාරින් 10 දෙනෙක්ට ද වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙන බව යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.
මේ අතර නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටින නාවික හමුදා නිලධාරින් ගේ පවුල්වල සාමාජිකයින් තිදෙනෙක්ට ද කොරෝනා වෛරසය වැලදී ඇති බව වාර්තා වනවා.
කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයින් 10 දෙනෙක්ට හා කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත පුත්තලමේ සිට රැගෙන ගිය තිදෙනෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඊයේ තහවුරු වී තිබෙනවා.
ගුවන් යානා නොමැතිව ඕමාන ගුවන් තොටුපලේ සිරවී සිට මෙරටට රැගෙන ආ පුද්ගලයින්ගෙන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ තිදෙනෙක්ට සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙක්ට ද කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා.