Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගිනි ගනිමින් පවතින MV X-Press Pearl එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ විවිධ ද්‍රව්‍ය වෙරළට ගසා ගෙන ඒමත් සමග එම ප්‍රදේශවල ජනතාව එම ද්‍රව්‍යයන් රැගෙන යාමට වෙරළට පැමිණෙන තිබු බව ඊයේ (26) දිනයේ අපට දක්නට ලැබුණා.

එලෙස නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක් රැස් කළ 8 දෙනෙකු අද (27) උදෑසන වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චොක්ලට්, නූඩ්ල්ස් වැනි ආහාර වර්ග ද රූපලාවණ්‍ය ආලේපන වැනි ද්‍රව්‍ය ද එලෙස වෙරළට ගසා ගෙන පැමිණෙන භාණ්ඩ අතර තිබෙන අතර ඒවා දුන්ගාල්පිටිය සිට මීගමුව කුඩාපාඩුව මුහුදු වෙරළ දක්වා තැනින් තැන ගොඩ ගැසෙමින් පවතී. දුන්ගාල්පිටිය වෙරළට වැඩි වශයෙන් ම ගොඩ ගසා ඇත්තේ පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක් වන පොලිඑතිලින් වේ. කිලෝග්‍රෑම් 25 ඇසුරුම් වශයෙන් වෙරළට ගසාගෙන ආ පොලිඑතිලින් මලු ප්‍රදේශවාසීන් එක් රැස් කර ගත් ආකාරය දැක ගත හැකි වූනා.

මේ අතර වෙරළට ගොඩ ගසන ලද ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පමුණුගම, දුන්ගාල්පිටිය, මීගමුව, කොච්චිකඩේ පොලිස් වසම් ආශ්‍රිත වෙරළ තීරයට ජනතාව රැස් වී වෙරළට ගොඩ ගැසූ දෑ රැගෙන ගොස් ඇති බවට වාර්තා වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා විමර්ශන සිදු කරන බවත් අදාළ සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මීට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, වෙරළට ගසා ගෙන පැමිණෙන ද්‍රව්‍යවල රසායන ද්‍රව්‍ය ආදිය තිබිය හැකි අතර එමගින් ශරීර සෞඛ්‍යයට කුමන ආකාරයක හානියක් විය හැකි දැයි නොදන්නා බව ය.

තව ද පමුණුගම සිට මීගමුව දක්වා වෙරළ තීරයේ තැනින් තැන පිළිස්සී ගිය ප්ලාස්ටික් කොටස් පොලිඑතිලින් කොටස් ගොඩ ගැසෙමින් පවතින බවත් වඩදිය සමග රසායනික ද්‍රව්‍ය මීගමුව කලපුව තුළට පැමිණෙමින් තිබේ.

මෙම සිදුවීම සමග තමන් බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි එම ප්‍රදේශවල ධීවරයෝ පවසති. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මිට පෙර නිවේදනය කළේ, සෞඛ්‍යට අහිතකර රසායන ද්‍රව්‍ය ඇති බැවින් වෙරළට ගසාගෙන එන ද්‍රව්‍යයන් ඇල්ලීමෙන් වළකින ලෙස ය. 

තව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, අවම වශයෙන් රැල්ල පෑගීමට පවා නොයන ලෙසයි. විශේෂයෙන් ම එම ද්‍රව්‍යය හරහා පිළිකාකාරක ශරීරගත වීමේ අවධානමක් ද පවතින බව ඔහු පැහැදිලි කළේය. එසේ දැනුවත් කිරීම් කර තිබුණ ද ඒ පිළිබඳව නොතකා ජනතාව එක් රැස් වී වෙරළට ගසා ගෙන එන ද්‍රව්‍ය රැගෙන ගොස් තිබේ.

මේ වන විටත් නෞකාව ගිනි ගනිමින් පවතින බවත් ඊයේ (මැයි 26) රාත්‍රියේ හෝ අද (මැයි 27) දිනය වන විට තත්ත්වය තවත් බරපතළ විය හැකි බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය පැවසීය.

සුළං තත්ත්වය මත එලෙස තත්ත්වය දරුණු විය හැකි බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. නෞකාවේ ඉදිරිපස කොටසේ ගින්න යම්තාක් දුරකට අඩුවී ඇතැයි වාර්තා වන අතර පසුපස කොටස තදින් ගිනි ගන්නා බව ඇය පැවසීය. තව ද සභාපතිවරිය පැවසුවේ, නෞකාවේ එන්ජින් කාමරයට තවමත් හානි වී නොමැති බවට වාර්තා වී ඇති බව ය. සිදු වී ඇති පරිසර හානිය පිළිබඳව තවමත් නිසියාකාරයෙන් තක්සේරු කර නොමැති අතර එම කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව ඇය ප්‍රකාශ කළාය.

මේ වන විට ගින්න පැතිරෙන ප්‍රදේශය ආශ්‍රිතව වාතයේ සාම්පල, ජල සාම්පල ආදිය පරීක්ෂා කරමින් පවතින බව ද ඇය පැවැසුවාය. තව ද සභාපතිවරිය පැවසුවේ, වෙරළ තීරයන්ට ගසා ගෙන එන ද්‍රව්‍ය එකතු කිරීමට ජනතාව පැමිණීම මේ වන විට පොලිසිය පැමිණ පාලනය කර ඇති අතර එලෙස වෙරළට ගසා ගෙන ආ ද්‍රව්‍ය රැගෙන ගිය පුද්ගලයන් නිවෙස්වලට ගොස් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසිය තව දුරටත්කටයුතු කරමින් සිටියි.

Image Source : Air Force Media
Image Source : Air Force Media
Image Source : Air Force Media

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *