Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now
Minor 4 2704465b

කලමැටිය කලපුවෙන් එහා විසල් ලෝකයක් ඇති බැව් එහෙන් මෙහෙන් අසා දැන සිටියත් කිසිදා පාසලකට නොගිය බබා උක්කුං හෙවත් කලපු සුදා කොළඹ නගරය තිබෙන්නේ උතුරේ ද දකුණේ ද කියා වත් කීමට දැන සිටියේ නැත. එහෙත් 1956 මැයි 24 දා හිමිදිරි පාන්දරින් ම හම්බන්තොට සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ BMW වඳුරා මොඩල් ලොරි භාගයේ ක්ලීනර්ට සිල්ලර කාසිවලින් රුපියල් 15 ක් සමඟ කලමැටිය කලපුවෙන් පෙරා ගත් සුදු ඒවායින් බෝතල් දෙකක් තෑගි දුන් කලපු සුදා කාටත් නොදැනී කොළඹට පැන ගත්තේ පොලීසියෙන් බේරීමට ය. එදින වෙසක් පෝය දා වූ හෙයින් මුළු කොළඹම වෙසක් සිරියෙන් බැබලෙමින් තිබිණ.
දින තුනක් එක දිගට දන්සල් බත් කමින් රෑ නිදි වරමින් වෙසක් බලමින් කොළඹ පුරා කරක් ගැසූ ඔහු කෙටි කලකින් මිතුරු රැළකට වැටී ඔවුන් සමඟ කහවත්තට ගොස් මැණික් පතලක වැඩට බැඳුණේ ය. එහෙත් සතියක් ගතවීමටත් පෙර පතල් රස්සාවෙන් හෙම්බත් වූ හෙතෙම කාටත් හොරා නැවත කොළඹට ම පැමිණියේ ය. පිටකොටුවේ මැනිං වෙළෙඳපොළේ ලොරිවලින් එළවළු ගෝනී බෑම සහ පැටවීම රැකියාව කැර ගත් ඔහු එයින් දිනකට උපයා ගත්තේ එදා දවසට පමණක් සෑහෙන සුළු මුදලකි. ඒ රැකියාවත් ඉක්මණින් ම අත්හැර දැමූ ඔහු කොටහේනට ගොස් ගරාජයක අත් උදව්කාරයකු ලෙස රැකියාව ලබා ගත්තේ ය. මෙතෙක් කළ සියලු රැකියාවන්ට වඩා මේ ගැරේජ් රස්සාව ඉතා දුෂ්කර සහ නිරතුරුවම හෙඩ් බාස්ගෙන් කුණු හරුපයෙන් බැණුම් අසන්නට සිදු වූ එකක් වූවත් ඔහු ඒ සියල්ල ඉවසා දරා සිටියේ ය. සුළු අලුත් වැඩියාවන් සඳහා ගරාජයට ගෙන එනු ලබන මොරිස් මයිනර් ටැක්සි රථ කෙරෙහි ඉමහත් ඇල්මක් ඇති කැර ගත් හෙතෙම ඒවා ඉතා ආශාවෙන් අතපත ගෑවේය. වසර දෙකක් ගත වෙත්දී ඔහු මොරිස් මයිනර් ටැක්සි රථ පිළිබඳ කාර්මික දැනුමෙන් විශේෂඥයකු බවට පත්ව සිටියා පමණක් නොව ඒවා ධාවනය කිරීමෙන් ද ශූරයකු බව පෙන්නුම් කෙළේ ය. කලමැටියේ කලපු සුදා මෙතැන් සිට මයිනර් සුදා ලෙස ප්‍රකට වූ අතර ඔහුගේ සේවය ලබා ගැනීම සඳහා දිනපතා ම පාහේ දිගු පෝලිමක් තිබුණේ ය.
ඕනෑම වාහනයක එංජිම පණ ගන්වන විට නැගෙන ශබ්දයට සවන් දී එහි ඇත්තේ කුමන ආකාරයේ කාර්මික දෝෂයක් දැයි කීමට තරම් හැකියාවක් ඔහු සතුව තිබුණා පමණක් නොව ඕනෑම වාහනයක කාර්මික දෝෂයක් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට ද ඔහු සතුව තිබූ දැනුම කිසිවකුට දෙවැනි නොවීය. මේ නිසා ආණ්ඩුවේ ලොකු ලොක්කන් පමණක් නොව එවකට කොළඹ සිටි ඕනෑම කෙරුම්කාරයෙක් වාහනයක අමාරුම වැඩක් පිළිබඳව මයිනර් සුදා ගෙන් පිළියමක් ගත්තොත් එය ටක්කෙටම හරි බැව් දැන සිටියේ ය. අබලන් තත්ත්වයේ පවතින මෝටර් රථ අඩු මුදලට මිලට ගත් මයිනර් සුදා ඒවා අලුත්වැඩියා කොට අති නවීන පෙනුමකින් ප්‍රතිසංස්කරණ කොට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එතැන් සිට ඔහු මයිනර් සුදා නොව මයිනර් මුදලාලි ලෙස ප්‍රසිද්ධියට පත්විය. ‘ මං වැඩිකල් යන්නැතුව මේ ලංකාවේ අපේම කියලා කාර් එකක් හදනවා ..’ යි නිතර නිතර කී ඔහු එය වචනයට සීමා නොකළ අතර ඒ වෙනුවෙන් විවිධ වාහන ආකෘති අත්හදා බැලුවේය. මේ සියල්ල මෙසේ සිදුවෙමින් තිබෙන අතරතුර මයිනර් මුදලාලිගේ ජීවිතයේ විශාල පරිවර්තනයකට මුල පුරන සිදුවීම් දෙකක් හට ගත්තේ ය.
කිංසිංග්ටන් කොම්පැණිය අයිති බ්‍රිතාන්‍ය ජාතික කෝටිපතියා වරෙක තමාගේ පරිහරණය සඳහා අලුත්ම මෝටර් රථයක් ජර්මනියෙන් ගෙන්වා ගත්තේ ය. එහෙත් නැවෙන් බා ගත් එම රථය පණ ගැන්විය නොහැකිව තිබුණේ ය. කාර්මික ඉංජිනේරුවන්ට ද එහි දෝෂය සොයාගත නොහැකි වූ හෙයින් කළ යුතුව තිබුණේ එක්කෝ වාහනය ආපසු ජර්මනියට පැටවීම හෝ නැතහොත් ජර්මනියෙන් කාර්මිකයන් කැඳවා ගැනිම ය. කිංසිංග්ටන් සුද්දා මෙසේ විපිළිසරව සිටියදී නිකමට මෙන් මයිනර් සුදාට වාහනය පෙන්වමු දැයි කිසිවකු විසින් යෝජනා කරනු ලදුව අඩුමිටි පෙට්ටිය සමඟ මජං ඇඳුම සහිතව එහි පැමිණි මයිනර් සුදා බොනට්ටුව විවෘත කොට මිනිත්තු කිහිපයක් එතුළ අතපත ගෑවේය. රථයේ දොරවල් හතරම විවෘත කොට තැබූ ඔහු ආපසු පිටත්ව යෑමට සූදානමින් මෙසේ කීවේය. ‘…පැයක් හමාරක් ඔය විදිහට තියෙන්නෙ ඇරලා ස්ටාර්ට් කරන්න..’ එසේ කී මයිනර් සුදා රථයේ පසුපසට ගොස් සයිලන්සරයට නිකමට මෙන් මිටියෙන් පහරක් ගසා යන්නට ගියේය. මේ පුදුම පිළියම අසා සිනා පළකළ මුත් කිංසිංග්ටන් සුද්දා ඒ කී ලෙස ම වාහනයේ යතුර කරකැවූ අතර ඔහුට අදහාගත නොහැකි ලෙස රථය පණ ගැන්විණ.
කළ උපකාරය වෙනුවට මයිනර් සුදාට ශත පහක ස්තුතියක් නොකළ කිංසිංග්ටන් ඒ වෙනුවට මෙසේ කීවේය. ‘ උඹ නං මේ වගේ රටකට ගැලපෙන මිනිහෙක් නෙවෙයි ‘ එසේ කී ඔහු මාස තුනක් ඇතුළත මයිනර් සුදාව තම වියදමින් ජර්මනියට පිටත් කැර හැරියේය. එතැන් සිට මයිනර් සුදා පිළිබඳව කිසිම ආරංචියක් කිසිවකුට දැන ගන්නට ලැබුණේ නැත.
මීට වසර දහයකට පහළොවකට පමණ පෙර එක්තරා දිනයෙක කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර මට මයිනර් සුදා මුණ ගැසිණ. ජීවිතයේ සැඳෑ සමයට ළං වෙමින් සිටි වියත් සම්භාවනීය පෙනුමකින් යුතු වූවත් ඔහු සමඟ කතා කරන්නට ගත් විගසම ඔහු තුළ වූ අව්‍යාජ කලපු සුදා එළියට පැන්නේ ය. ‘ .. මළපොතේ අකුරක් නොදැන කොළඹට පැනලා ආව මං අද ජර්මනියේ ඉංජිනේරුවන්ටත් කාර් හදන හැටි ගැන උපදෙස් දෙනවා. කිංසිංග්ටන් මහත්තයා කිව්වා වගේම ජර්මනියට ගිය මුල් සතියෙම මට තේරුණා ලංකාව වගේ රටකට අපි වගේ මිනිස්සු ගැලපෙන්නේ නෑ කියන එක … නමුත් කවදා හරි ලංකාවෙන් කාර් එකක් හදලා ලෝකෙට පෙන්නන්න ඕනෑ කියන ආශාව නං හැමදාම තිබුණා. අන්න ඒ නිසා තමා මං ආපහු මේ රටට ආවේ … නමුත් මං අදහස අතහැර ගත්තා … කරන්න පුළුවන් පොයින්ට් 10 න් 9 ක් හරි වුණත් අර එක පොයින්ට් එකක් විතරක් මතු කරලා මෙහේ ලොක්කෝ බලන්නෙම වැඩේ නොකරන තැනට තල්ලු කරන්නේ කොහොමද කියලයි .. අනිත් එක ලෝකේ මොනම රටකවත් නැති අමුතු කොස්ට් එකක් මෙහේ තියෙනවා .. ; යි ඔහු කියමින් සිටියදී මම හරස් ප්‍රශ්නයක් ඇසුවෙමි. ‘ ඒ මොකද ප්‍රොඩක්ෂන් කොස්ට් එක වැඩිද ? ‘ මගේ ප්‍රශ්නයට ඔහු එක එල්ලේ උත්තර දුන්නේ මෙතෙක් පැවති සංයමය බිඳ දමමිනි. ‘ … ප්‍රොඩක්ෂන් කොස්ට් එක නෙවෙයි ළමයෝ .. පොලිටිකල් කොස්ට් එක තමා දරන්නම අමාරු එක ..’
– කේ.සී.ජේ.රත්නායක

Leave a Reply

Your email address will not be published.