Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් වලත් මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි.

වයඹ සහ උතුරු පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරම තද වැසි ඇති විය හැකි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා ඉල්ලා සිටිනවා. 

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය, රාජාංගනය, වෙහෙරගල, මහවිලච්චිය, යෝධ වැව, නාලන්දා සහ තබ්බෝව යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබේ.  

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් අද විවෘත කළ අතර නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීම ආරම්භ කර ඇති බව නුවරඑළිය ආපදා කළමණාකරණ ඒකකය පවසයි.  

පවතින වර්ෂාපතනය නිසා කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත්, ජල මට්ටම ඉහළ යාමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කරයි.

එමෙන්ම ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද විවෘත කර ඇත.

වව්නියාවේ කුඩා වැව් රැසක් වාන් දැමීමත් සමඟ කුඹුරු රැසක් විනාශ වී තිබේ. මේ අතර බණ්ඩාරවෙල , වැවතැන්න සිට අඹේගොඩ දක්වා වන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් විදුලි කණු කිහිපයකට සහ දුරකථන රැහැන්වලට හානි සිදුවී තිබුණි.

ඒ හේතුවෙන් එම මාර්ගය පැය කිහිපයකට වසා දැමීමට සිදුවිය. ඊයේ ඇඳහැලුනු අධික වර්ෂාවත් සමඟ අකුරණ නගරය ජලයෙන් යටවී තිබේ.

මේ අතර පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් එම නිවසට බරපතළ හානි සිදුවී ඇත.

පවතින අධික වර්ෂාවත් සමඟ ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හටන්ගල දොරළුගොඩ යායේ වගා කරන ලද කුඹුරු අක්කර 50කට අධික ප්‍රමාණයක් ගංවතුරට හසුවී තිබේ.

Leave a Reply

Your email address will not be published.