කෑගල්ලේ පුද්ගලයකු විසින් කොරෝනා සඳහා ඖෂධයක් ලෙස හඳුන්වාදුන් පැණිය අත්හදා බලා සාර්ථක වූ බව පවසන වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 07 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහල් අධිකාරී පවසයි.
වෛද්‍යවරයෙක් හෙදියන් දෙදෙනෙක්, ගිණුම් අංශයේ නිලධාරිනියක් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තිදෙනකු මේ අතර සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිස වාර්තා වීමත් සමඟ වතුපිටිවල රෝහලේ 10 වාට්ටුව විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන තිබේ.
කෑගල්ලේ පදිංචි පුද්ගලයකු විසින් හඳුන්වා දුන් ඖෂධයක් බව කියන පැණිය මුළින්ම කොරෝනා වෛරස ආසාදිතයන්ට ලබා දී පරීක්ෂණ කළේ මෙම වතුපිටිවල රෝහලේ දී බවත් එය පානය කළ නේවාසික ආසාදිතයන් සුවය ලැබූ බවත් රජයේ අමාත්‍යවරුන් ද ඇතුළු බලධාරීන් ද උපුටා දක්වමින් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.

එම ප්රචාරයත් සමඟ දහස් සංඛ්‍යාත පිරිස් කෑගල්ලේ අදාල පුද්ගලයා සොයා ගොස් එම පානය ලබාගැනීම ද නිවෙස්වල ම විවිධ වටටෝරු භාවිතා කරමින් ආදේශක පානයන් සාදා ගන්නා අයුරුද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්වතුන්ගේ පිළිගැනීම වන්නේ කොරෝනා වයිරසය ආසාදනය වන බහුතරයක් මේ දක්වා කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව සුව වන බවයි. දැනට ද ශ්‍රී ලංකාවේ රෝහල්වල දී හුස්මගැනීම පහසු කරන සහ උගුරේ වේදනාව සමනය කරන ඖෂධ හැර වෙනත් කිසිදු ඖෂධයක් කොරෝනා ආසාදිතයන්ට ලබා දෙන්නේ නැත.
ඊයේ (15) ඊයේ රාත්‍රී වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයන් 33,000කට වැඩි පිරිසක් වාර්තා වී සිිටි අතර මියගොස් තිබුණේ ඉන් 154 දෙනකු පමණි. ඒ අනුව පෙනී යන්නේ කිසිදු ඖෂධයක් නොමැතිව කොරෝනා වයිරසය හේතුවෙන් සිරුරේ හටගන්නා ප්‍රතිදේහ මේ රෝගය ස්වභාවිකව සුවපත් කරන බවයි.
ලොව පුරා පර්යේෂකයන් එන්නත් පිළිබඳ අත්හදා බලමින් සිටින්නේ වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා රෝගයෙන් වැළඳීමෙන් වැළකී සිටීමට එන්නතකි.
එවැනි ප්‍රතිකාරයක් ලෙස ශ්‍රී ලංකාවේ පුද්ගලයකු විසින් හඳුන්වාදුන් පානයක් රාජ්‍ය අනුග්‍රහය ද සහිතව අත්හදා බැලූ වතුපිටිවල රජයේ රෝහලේ කාර්ය මණ්ඩලයේ 07 දෙනකු මෙලෙස ආසාදනය වී ඇති අතර මේ වනවිට කාර්ය මණ්ඩලයේ තවත් පිරිසක් නිරෝධායනයට යොමු කර සිටිති.
2 Comments