Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය ඔක්තෝබර් 10 වැනි දා ගාලුමුවදොර පැවති විරෝධතාවයේ දී ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ නොමනා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගිය තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයකුට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් තර්ජනය කර ඇති බව වාර්තා වනවා.

ඔහුගේ නීතිඥවරයා ඉදිරියේ ම මෙම තර්ජනය කර ඇති බව යි සඳහන් වන්නේ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන, එම සංගමයේ භාණ්ඩාගාරික නිරෝෂ් මෛත්‍රී සහ ඔහුගේ නීතිඥ තරිඳු රත්නායක යන අය මෙසේ පසුගිය අඟහරුවා දා කොටුව පොලිසියට ගොස් ඇති බව සඳහන්.

විරෝධතාව පිළිබඳව නිසි ලෙස පොලිසියට දැනුම් දී තිබිය දීත් සංවිධායකයන් ඊට පූර්ව අවසරයක් ලබා නො ගත් බව පවසමින් සාමකාමී විරෝධතාවට බාධා කළ සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ගේ නොමනා ක්‍රියාවට එරෙහි ව පැමිණිල්ලක් කිරීමට යි මොවුන් කොටුව පොලිසියට ගොස් ඇත්තේ.

මෙම අවස්ථාවේ දී පොලිසියේ සිටි යම් සැකකරුවෙක් හදිසියේ ම පොලිස් ග්‍රහණයෙන් මිඳී පලා යෑමට තැත් කර ඇති අතර, නැවතත් පොලිස් නිලධාරින් විසින් සැකකරු ව අල්ලාගෙන තිබෙනවා.

පසු ව එම සැකකරුට පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ විසින් පා පහරක් දුන් බව ද තරිඳු ජයවර්ධන ප්‍රකාශ කරනවා.

ඉන් පසු තරිඳු ජයවර්ධන ඇතුළු පිරිස ස්ථානාධිපතිවරයාගේ කාමරයට ගොස් ඇති අතර, තමන් පැමිණි අරමුණ ද සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් දැනටමත් කොටුව පොලිස් ස්ථානයට එරෙහි ව පැමිණිල්ලක් ඇති බැවින් මෙම පැමිණිල්ල පොලිස් මූලස්ථානය වෙත දැනුම් දෙන ලෙස යි ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

මෙය ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනකුගේ හැසිරීමට පටහැනි බව හා මීට පෙර කොටුව පොලිසියට මෙවැනි පැමිණිලි ලැබී තිබූ බව ඔවුන් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇති නමුත් පැමිණිල්ල බාර ගැනීම ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බව සඳහන්.

පසුව ස්ථානාධිපති සාගර ලියනගේ සිය මේසයෙන් නැගිට තරිඳු ජයවර්ධන ව තල්ලු කර ඇති බවත් ඔහුගේ අත තදින් අල්ලාගෙන බිය ගන්වා ඇති බවත් වාර්තා වනවා.

ඒ, ඔවුන්ගේ සංවාදය පටිගත කිරීමට උත්සාහ කළේ දැ යි විමසමින්.

ඉන් පසු ස්ථානාධිපතිවරයා තරිඳු ජයවර්ධනගේ ජංගම දුරකථනය උදුරා ගැනීමට ද උත්සාහ කර තිබෙන අතර, නමුත් ඔහු එයට ඉඩ නො දී එය තදින් අල්ලාගෙන තිබෙනවා.

මේ සියල්ල සිදු වුණේ සිය නීතිඥවරයා ඉදිරියේ බව පවසන තරිඳු ජයවර්ධන, මෙම සමස්ත සිද්ධිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට (HRCSL) පැමිණිලි කර තිබෙනවා.

ඒ, තමාගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් කොටුව පොලිසිය තුළ දී බිය ගන්වා, බලහත්කාරයෙන් රඳවා තබාගෙන, අවමන් කිරීමට පවා කටයුතු කළ බව පවසමින්.

එසේම තමාගේ පැමිණිල්ල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට ද පිටපත් කළ බව තරිඳු ජයවර්ධන සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඃඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් කළ විමසීමක දී කියා ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් නො දන්නා නමුත් මූලස්ථානයට යම් පැමිණිල්ලක් ලැබී ඇති නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා අනිවාර්යයෙන් ම අදාළ බලධාරීන්ට උපදෙස් දෙන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *