Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වසංගතය පැවතිය ද වෙනත් වසරවල මෙන් 73 වන නිදහස් සැමරුම් උළෙල මහත් අභිමානයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාරි මාර්ග, රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශවලට අනුකුලව සියලු ආරක්ෂක විධිවිධාන යටතේ මෙවර නිදහස් සමරුව ගාම්භීරව හා චාම්ව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය නීතිවලට අනුකූලව ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි සහ සංස්කෘතික පෙරහර ද එදිනට පැවැත්වෙන බවය.

මැතිවරණ හා අනෙකුත් කටයුතු ආරම්භ කිරීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාවට නැංවූ රුක් රෝපණ වැඩසටහන ජාතික වැඩපිළිවෙළක් ලෙස නිදහස් දිනයේ සිට ක්‍රියාවට නැංවෙන බවත් 73 වන නිදහස් දිනයට සමගාමීව සෑම ගමක ම රජයේ ආයතන හා පෞද්ගලික ස්ථානවල රුක් රෝපණ වැඩසටහන් දියත් කෙරෙන බව ද අමාත්‍යවරයා පවසයි.

එම මාධ්‍ය හමුවට එක් වෙමින් ආරක්ෂක රාජ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ, මෙවර නිදහස් උත්සවයේ ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි සඳහා අවම භට පිරිසක් සහභාගී කරගන්නා බවය.

එමෙන් ම ආචාර පෙළපාලි සඳහා එක් වන ආරක්ෂක අංශයේ සියලු සාමාජිකයන් පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන් අනතුරුව පමණක් ඒ සඳහා සහභාගී කරවන බවත් හෙතෙම අවධාරණය කළේ ය.

මෙවර ආචාර පෙළපාලිය සඳහා යුද්ධ හමුදා සෙබළුන් හා නිලධාරින් 3153 දෙනෙකුත්, නාවික හමුදාවෙන් 821 දෙනෙකුත්, ගුවන් හමුදා සාමාජිකයන් 740 දෙනෙකුත්, පොලිස් හා විශේෂ කාර්ය බලකායෙන් 510 දෙනෙකුත්, සිවිල් ආරක්ෂක සේවා බලක සාමාජිකයන් 457 දෙනෙකුත්, සහභාගී කරගන්න බවත් යම් හෙයකින් මේ සාමාජිකයන් අතරින් එක අයෙකු හෝ කොරෝනා අසාදිත බව හෙළි වුවහොත් ඔවුන්ගේ පළමු පෙළ අශ්‍රිතයන් ද ඉවත් කොට අතිරේක බට පිරිස් ඇතුළත් කිරීමට ප්‍රමාණවත් තරම් භට පිරිසක් වෙන ම සූදානම් කර ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා පවසයි.

සෞඛ්‍ය උපදෙස් සියල්ල අකුරට ම පිළිපදිමින් මෙම කාර්යන් සියල්ල සිදු කෙරෙන බවත්, ආචාර පෙළපාලිය අවසන් වීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, පළාත් සභා ස සංකෘතික සේවා මධ්‍යස්ථානයන් නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පින් තුන්සිය හතලිස් දෙනෙක් සහභාගී වන සංකෘතික පෙරහරක් ද පැවැත්වෙන බව හෙතෙම පැවසීය.

මෙවර නිදහස් දින සැමරුමට ආරාධනා කෙරෙන ප්‍රභු සංඛ්‍යාව සීමාසහිත බවත් එසේ ආරාධනා කළ පිරිසගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව උත්සව භුමිය වෙත ඇතුළු කරගන්නා බවත් ඔවුන්ට සෑම අවස්ථාවකදී ම මුව ආවරණ පැළඳීම අනිවාර්ය කෙරෙන බවත් ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි.

පසු ගිය දිනවල ජාතික ධජයේ සිංහ රුවෙහි අඩුපාඩු කිහිපයක් පිළිබඳව සමාජයෙන් නැගුනු චෝදනා අවධානය යොමු කොට නිර්මාණ ශිල්පින් හා රාජ්‍ය නිලධාරීන් හා සාකච්ජා කර පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් පමණක් ම එම වෙනස්කම් සිදු කළ යුතු නිසා මෙවර නිදහස් දිනයටත් පෙර භාවිතා කළ ජාතික ධජය ම යොදා ගැනෙන බවත් ජනාධිපතිවරයා ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කෙරන බවත් හෙතෙම පැවසීය.

නිදහස් දින උදැසන මහාමාන්‍ය ඩී .එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම හා ආචාර කිරීම ඩී.එස්. සේනානායක ගුණ සමරු කමිටුවේ සභාපති හිටපු කතානායක කරු ජයසුරිය, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර කොළඹ පුරපතිනිය රෝසි සේනානායක විසින් පිළිරුවට මල්මාලා පැළඳවීම සිදු කිරීමට නියමිත බවත් හෙතෙම පැවසීය.

නිදහස් සැමරුවට සහභාගී වන පිරිස් මේ වන විටත් එහි පුහුණුවීම් කටයුතු සිදු කරන බව ද අන් දිනවල මෙන් එම පෙර පුහුණු කටයුතු හෝ නිදහස් දින පෙළපාලිය නැරඹීමට සෞඛ්‍ය හේතුන් මත මහජනතාවට අවසරයක් හිමි නොවන නිසා නිවෙස්වල සිට අභිමානවත් නිදහස් සමරුව රුපවාහිනිය ඔස්සේ නරඹන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *