Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් මෙරට තුළ ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය විසින් පූර්ව සැලැස්මක් සකස් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය දැනුම් දෙන්නේ ඊට අදාළ සාකච්ඡා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය විශේෂඥයින් සමග පැවැත්වූ බවය.

ඒ අනුව, ඉහළ යන ඔක්සිජන් අවශ්‍යතාවට ඔක්සිජන් සංචිතය පවත්වා ගැනීම සඳහා කටයුතු කිරීමත් අදාළ සැපයුම් ආයතන සමග සාකච්ඡා කර හදිසි අවශ්‍යතාවකදී ලබාගත හැකි ඔක්සිජන් ප්‍රමාණයන් පිළිබඳව තක්සේරුවක් සිදුකිරීමටත් එහිදී අවධානය යොමුවී ඇත.

එමෙන් ම, කොවිඩ්-19 වෙනුවෙන් වෙන්වූ රෝහල් සඳහා ඔක්සිජන් අඩංගු ‘ජම්බෝ සිලින්ඩර්’ ලබා දීම සඳහා ද සාකච්ඡා වී තිබේ.

ඉතා අසාධ්‍ය නොවන නමුත් විශේෂ අවධානයක් දියයුතු රෝගීන් සදහා High Dependency Unit (HDUs) ඇතිකිරීම කෙරෙහි එහිදී අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා High Flow Machines සවි කිරීම කෙරෙහි ද අවධානය යොමුවී ඇත.  

තව ද ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරික්ෂා කිරීමේ ධාරිතාව වැඩිකිරීමටත් ඒ සදහා වතුපිටිවල රෝහලේ නව PCR යන්ත්‍රයක් සවිකිරීම කෙරෙහිත් අවධානය යොමුවී තිබේ.

රෝගීන්ගේ වාර්තාවීම වැඩිවීමත් සමග රෝහල් පද්ධතියට ඇතිවිය හැකි බර අවම කිරීම සඳහා අතරමැදි සත්කාරක සේවා මධ්‍යස්ථාන (Intermediate Care Centers) ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීමත් ඒවා සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ඇති කිරීමට මෙන් ම ඇදන් ධාරිතාව 200කට වැඩි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම කෙරෙහිත් අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත.

එමෙන් ම, ඒ සදහා රජයේ සහ පෞද්ගලික ආයතනවල ගොඩනැගිලි ලබාගැනීම කෙරෙහි ද එහිදී අවධානය යොමුවී තිබේ. 

ඒ අනුව, දැනටමත් ආයතන කිහිපයක ගොඩනැගිලි මේ සදහා ලබා දීමට කැමැත්ත පලකර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ඇඳන්, ලොකර්ස් සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව රාජ්‍ය අමාත්‍යංශය පවසයි.   

තව ද ග්‍රාමීය ප්‍රදේශවල සුව සැරිය ගිලන්රථ සේවාව ඉටු කිරීම සදහා අතිරේක ගිලන් රථ ලබාගැනීම කෙරෙහි ද එහිදී සාකච්ඡාවී ඇත. 

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවා වෛද්‍ය සුදත් ධර්මරත්න, අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් අන්වර් හම්ඩානි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *