නුදුරු අනාගතයේදී කොරෝනා වෛරසයට වඩා මාරාන්තික වෛරස් රැසක් ලෝකය පුරා මතු විය හැකි බවට ඉබෝලා වෛරසය සොයා ගත් කොංගෝ මහාචාර්ය ෂෝන් ජාක්ස් ටැම්ෆුම් (Jean-Jacques Muyembe Tamfum) මහතා අනතුරු අඟවනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ, CNN පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.
ඔහු පෙන්වා දුන්නේ, “සතුන් හරහා තවත් බොහෝ රෝග මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි,” බවයි.
චිම්පන්සි විශේෂයකින් ඇති වූ HIV රෝගය මේ වන විට මිනිස් වර්ගයා බියට පත්කර ඇති අතර, සාර්ස්, මර්ස්, සහ කොවිඩ් -19 ඒ ආකාරයට සත්ත්ව විශේෂ වලින් සම්ප්‍රේෂණය වූ රෝග ලෙස හඳුනාගෙන තිබෙනවා.
නුදුරු අනාගතයේදී මතු වන මාරාන්තික වෛරසයන්ගේ නිජබිම අප්‍රිකානු ඝර්ම කලාපීය වැසි වනාන්තර බව ද ඔහු පවසා තිබෙනවා.
මෙම තත්ත්වය ලෝකයේ පශ්චාත් වසංගත සැලසුම්වලට බාධාවක් විය හැකි බව ද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.
මාරාන්තික ඉබෝලා වෛරසය සොයා ගැනීමෙන් පසු ඔහු වඩාත් මාරාන්තික රෝගකාරක වෛරසයන් පිළිබඳව ගවේෂණයේ යෙදී සිටී. ඔහු අනතුරු අඟවන්නේ, “මාරාන්තික රෝගකාරක වෛරසයන් මතු වන ලෝකයක” අප ජීවත් වන බවටයි.
“එය මානව වර්ගයාට තර්ජනයක් විය හැකි,” බව මහාචාර්ය ෂෝන් ජාක්ස් ටැම්ෆුම් මහතා පවසනවා.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ලෝකය පුරා අනපේක්ෂිත ආකාරයේ ජීවිත හානි සංඛ්‍යාවක් සිදුවිය හැකි බව ඔහු පෙන්වා දෙනවා.