කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමින් මාලදිවයින් රජය විසින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට යොමු කළ ලිපිය වැඩිදුර උපදෙස් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.
ශ්‍රී ලංකාවේදී කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව මතුකර ඇති කනස්සල්ල සලකා බලමින් මාලදිවයින් රජය අදාළ කැමැත්ත ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කර තිබිණි.
මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් කානිදීපන් බාලසුබ්‍රමනියම්ගෙන් කරන ලද විමසීමකදී සඳහන් කෙරුණේ මාලදිවයිනේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය සිය අමාත්‍යාංශයට නොමැති බවත්, ඒ පිළිබඳව වැඩිදුර කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකෙරනු ඇති බවත්ය.
මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන ලද විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කරන ලද්දේ මාලදිවයිනේ ඉල්ලීමට අනුව දේහයන් භූමදානයට යොමු කිරීමට පවතින හැකියාව සහ ඒ වෙනුවෙන් මාර්ගෝපදේශ සැකසීම කෙරෙහි අමාත්‍යාංශය අවධානය යොමුකර ඇති බවයි.
මාලදිවයින දූපත් රැසකින් සමන්විත රාජ්‍යයක් බැවින් භූමදාන ක්‍රියාවලිය වෙනුවෙන් පහසුකම් සැලවීමට මෙලෙස ඉදිරිපත්ව සිටින බවත් තෝරාගත් එක් දූපතක මළ සිරුරු භූමදානය කිරීමට කැමැත්ත පළකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
1 Comment