කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී ඇත.
මෙයට අදාල විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.
කොවිඩ් සිරුරු වැළලීමට අදාළ මෙම තීරණය අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
එම නව චක්‍රලේඛයට අනුව කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා දේහය ඔහුගේ හෝ ඇයගේ ඥාතීන්ට භාරදීමට අනුමැතිය හිමිවෙයි.
මෙම නව චක්‍රලේඛය මගින් කොවිඩ් වසංගත සමය තුළ දේහ භූමදානය සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත්වලට අදාළ චක්‍රලේඛ අවලංගු කර තිබේ.
ඒ අනුව සමාජය තුළ සහ රෝහල් තුළ සිදුවන සාමාන්‍ය මරණ සඳහා PCR පරීක්ෂණ සිදුකිරීම අවශ්‍ය නොවන අතර එම සිරුරු සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රමවේදයට අවසන් කටයුතු සිදුකළ හැකිය.
එමෙන්ම කොවිඩ් -19 හඳුනාගැනීමේ පරීක්ෂණයක් සිදුකර දින 07කට පසු මියයන පුද්ගලයෙකුගේ මරණය සාමාන්‍ය මරණයක් ලෙස සලකා අවසන් කටයුතු සිදුකළ හැකි බවද මෙම චක්‍රලේඛයේ සඳහන්ය.
මේ අතර කොවිඩ් -19 අසාදිත මෘතදේහ අවසන් කටයුතු සිදුකිරීම සඳහා පවුලේ ඥාතින්ට ලබාදීමට මෙම නව චක්රලේඛයෙන් තීරණය කර තිබේ.
නමුත් රෝහලේදී මෘතදේහ සම්පුර්ණයෙන්ම ආවරණය වූ බෑගයක් තුළ දමා පවුලේ ඥාතින් වෙත භාරදිය යුතුවෙයි.
මෘතදේහ නිවසේ හෝ අවමංගල්‍ය ශාලාවක තබාගැනීමට අවසර නොමැති අතර මරණය සිදුවී පැය 24ක් තුළ එහි අවසන් කටයුතු සිදුකළ යුතුය.
අවසන් කටයුතු සිදු කිරීමේදී මෘතදේහ අදාහනය හෝ භූමදානය කිරීමේ තීරණය පවුලේ ඥාතින්ට ගත හැකි අතර ඒ සඳහා යන වියදම පෞද්ගලිකව දැරිය යුතු වෙයි.