Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now
g block

කලවිටිමැඩිල්ලේ පුරාණ රජමහා විහාරයේ චෛත්‍යය ගොඩනැංවීම දිගින් දිගට ම කල් යෑම කාගේත් විමතියට සහ නොසතුටට හේතුවක් වී තිබුණේ දශක දෙක තුනක සිට වරින්වර එහි ඉදිකිරීම් කටයුතු උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීම සහ උන්හිටිගමන් එහි වැඩ අතරමග නතර කිරීම සිදුවන්නේ කුමන හේතුවක් නිසාදැයි කිසිවකුටත් තේරුමක් නොවූ නිසාය. කපිල වීරරත්න වයස අවුරුදු 06 ක කුඩා ළමයකුව සිටියදී පන්සලේ සිදු වූ පිංකමක් පිළිබඳව ඔහුගේ මතකයේ නොමැකෙන ලෙස රැදී තිබුණේ එදින ඔහු විසින් අභිනව චෛත්‍යය ඉදි කිරීමට ගඩොල් කැට පහක් පරිත්‍යාග කරනු ලැබීම සම්බන්ධයෙන් හටගත් ආරවුලක් නිසාය. ප්‍රදේශයේ දේශපාලකයන් ප්‍රභූන් සහ දානපතියන්ගේ සහභාගීත්වයෙන් එදින ඉහළ ම පෙළේ මල්වට්ටි වෙන්දේසියක් පැවති අතර සාමාන්‍ය දායකයන්ට චෛත්‍යය සඳහා ගඩොල් කැට පරිත්‍යාග කිරීමට විශේෂ පහසුකම් සලසා තිබිණ. ඒ අනුව පන්සල් මිදුලේ ගඩොල් කැට දෙසිය පණහක් පමණ ගොඩගසා තිබුණු අතර එක් ගඩොලක මිල රුපියලක් විය. එතැනින් මිලට ගන්නා ගඩොල් චෛත්‍යය ඉදිවෙමින් පැවති භූමිය වෙත ගෙන ගොස් තැන්පත් කිරීම කළ යුතුවිය.
සැන්දෑවේ සිටම පන්සල් භූමියේ ඇවිදිමින් එහි සිදුවන පිංකම් සහ යකඩ කටින් කියැවෙන කවි විරිදු සහ පරිත්‍යාගශීලී දායකයන්ගේ නම්ගම් කවියෙන් කියනු අසා දැක බලාගත් කුඩා කපිල මහත් සතුටට පත්ව සිටි අතර චෛත්‍ය ඉදිකිරීමට ගඩොල් කැට කිහිපයක් පරිත්‍යාග කිරීමට ඔහු තුළ මහත් ආශාවක් හටගත්තේය. ගඩොල් අලෙවිකරන ස්ථානය අසලට ගිය ඔහු දායකයන් විසින් ගඩොල් කැට මිලට ගෙන ඒවා විල්බැරෝවක පටවා ගනු ලබන ආකාරය බලා සිටි අතර ඔහුද එම විල්බැරෝව පසුපසින් ගමන් කොට ගඩොල් කැට චෛත්‍ය පාමුල තැන්පත් කරන අයුරු ද සොම්නසින් බලා සිටියේ ය. අඩුම තරමින් චෛත්‍යය සඳහා ගඩොල් කැට පහක්වත් මිලට ගත යුතුව තිබූ අතර ඒ වනවිට කපිල සතුව තිබුණේ ශත අටක මුදලක් පමණි. රුපියල් පහක් කෙසේ වෙතත් රුපියලක් වත් තමා සතුව නැති බැව් දැන සිටියත් කෙසේ හෝ චෛත්‍යයට ගඩොල් කැට පහක් පූජාකළ යුතු යැයි සිතූ ඔහු රෑ අඳුරේ ම නිවෙස බලා දුව ගියේය. තම ගෙවත්ත පෙනෙන තෙක් මානයට ම හැල්මේ දුව ආ හෙතෙම එතැන් සිට බළල් අඩි තබමින් සීරූ මාරුවට ගමන් කොට ගෙමිදුලේ දඩුවැට යට්න් බඩ ගා ලොකු අක්කාගේ බාබන්ඩේසියා මල් පාත්තියෙන් හොඳ ගඩොල් කැට තුනක් ගලවා ගත් අතර ඒවා එතැනම තබා ගෙයි පිළිකන්න පැත්තට ගොස් ළිඳ අසල වූ අබලන් සිමෙන්ති පාදමෙන් තවත් ගඩොල් කැට දෙකක් ගලවා ගත්තේය. එහෙත් ඒවායේ දිය සෙවල රැදී තිබූ හෙයින් චෛත්‍යයට එවැනි අපිරිසුදු ගඩොල් පූජා කිරීම පව්කාර වැඩක් විය හැකි යැයි සිතු නිසා ගැල වූ ගඩොල් කැට දෙක නැවත එහි තිබෙන්නට හැරි ඔහු දෙවරක් නොසිතා වැටට යටින් රිංගා අල්ලපු ගෙදර ගීතක්කාගේ මල්පාත්තියෙන් හොඳ ගඩොල් කැට දෙකක් ගලවා ගත්තේ ය. එහෙත් ඒ සමඟ ම ඔහුට මහත් භීතියක් දැනුණේ අනුන්ගෙන් හොරකම් කළ ගඩොල් චෛත්‍යයට පූජාකිරීම ඔක්කොටම වඩා පව්කාර වැඩක් විය හැකි යැයි සිහිපත් වූ හෙයිනි.
ඇත්තම කතාව කීවොත් මෙවැනි අවස්ථාවක අත්තම්මා තමාට උදව්වක් කරනු ඇතැයි සිතූ ඔහු හනිකට ගෙතුළට දිව්වේය. ‘ ආච්ච් අම්මේ මට හොඳ අලුත් ගඩොල් කැට පහක් ඕනේ .. ‘ කියමින් කුඩා කපිල කතාව පටන් ගත් අතර ආච්චි අම්මා තම දෙනෙත් සහ මුව විවර කරගෙන ඔහුට සවන් දුන්නේ කිසිඳු හැඟීමක් නැති ගාණටය. කෙසේ නමුත් ඇය තම හැට්ටයට යටින් අත යවා ළැමදෙහි සඟවා තිබූ පන්කොළ හැබිලිය ගෙන එහි වූ එකම මුදල් නෝට්ටුව වූ රුපියල් පහ කපිලගේ අත්ල මත ගුලි කෙළේ ‘සාදූ’…සාදූ.. ‘ යැයි කියමිනි.
‘…කාලය නාස්ති කරමින් මල්පාත්තිවල ගඩොල් කැට ගලවමින් සිටියා වෙනුවට කෙළින්ම අත්තම්මාට කීවේ නම් මීට කලින්ම මුදල් සොයා ගත හැකිව තිබිණ. සමහර විට දැනටමත් ගඩොල් විකිණීම අවසන් වී තිබෙන්නට පුළුවන .. මොකද තමා පන්සලෙන් පිටව එත්දී අලෙවි කිරීම සඳහා ඉතිරිව තිබුණේ ගඩොල් කැට 50 ක් 60 ක් පමණක් බව ඔහුට මතක තිබිණ. .. ‘ මෙසේ සිතමින් හැකි වේගයෙන් පන්සල් භූමියට දිවගිය කපිල ප්‍රීතියෙන් පිනා ගියේ පෙර තිබුණාටත් වඩා උසට ගොඩගසා තිබූ ගඩොල් ගොඩ දැකීමෙනි. රුපියල් පහ දිගු කොට ගඩොල්කැට පහක් මිලට ගත් කපිල රිසිට්පතේ නම සඳහා ‘ සේරම්ලාගේ දොන් චාලට් ‘ යනුවෙන් අත්තම්මාගේ නම ලියන්නැයි කීවේය. ඉතා අයාසයෙන් මුත් ආරූඪ කැරගත් වීරත්වයකින් යුතුව වීල්බැරෝව තල්ලු කොට ගෙන ගිය කපිල එකින් එක ගඩොල් කැට දෝතින් ගෙන චෛත්‍යය පාමුල තැන්පත් කෙළේ ය. ඒ සමඟ ම එහි පැමිණි තරුණයකු චෛත්‍ය පාමුල ගොඩගසා තිබූ ගඩොල් කැට නැවත වීල්බැරෝවකට පටවන්නට ගත්තේය. ‘ කොහාටද අයියේ ඔය ගඩොල් ආපහු අරගෙන යන්නේ .. ‘ යි කපිල වහාම තරුණයා ගෙන් ප්‍රශ්න කෙළේ කුතුහලයෙන් යුතුවය. ‘ කොහේටද ඉතිං … මේවා ආපහු අරගෙන යන්නේ විකුණන තැනටම තමා .. ‘ යි නොසැලකිලිමත්ව පිළිතුරු දුන් ඔහු යුහුසුළුව වීල්බැරෝවට ගඩොල් පටවන අතරේ තමා විසින් පූජා කරන ලද ගඩොල් කැටවලට ඔහු අත තබනවාත් සමඟ ම කපිල ඔහුගේ අතේ එල්ලී එය වළක්වමින් කෑ ගැසුවේය. ‘ .. මම මේ දැන් තමා සල්ලි දීලා අරගෙන ඔය ගඩොල් කැට පහ පූජා කෙරුවේ… ඒක අරගෙන යන්න දෙන්න බෑ .. ‘ යි ඔහු දබරයක් ආරම්භ කෙළේ ය. ‘ .. ඔයාගේ මේ බම්බු ගඩොල් විතරක් නෙවෙයි .. කාගේ ඒවත් ආපහු විකුණන තැනට අරගෙන යනවා .. මේ පැත්තකට වෙලා ඉන්න මට වැඩ තියෙනවා ..’ යි කී තරුණයා කපිලව පැත්තකට තල්ලු කොට දැමූ අතර සමබරතාව ගිලිහී යෑම නිසා ඔහු බිම ඇද වැටිණ. වහා නැගිට ගත් කපිල තරුණයාගේ අත සපාකන විට මේ කලබලය කුමක්දැයි විපරම් කිරීමට ඒ අසල සෑහෙන පිරිසක් එක්රොක් වී සීටියෝ ය. ‘ මෙන්න මෙයා අපි චෛත්‍යයට පූජා කරපු ගල් හොරකම් කරගෙන ගිහින් ඒවාම ආපහු විකුණනවා .. ‘ යි කපිල කෑගසත්දී කවුරුත් මුහුණින් මුහුණ බලා ගත්තෝය.
මේ සිද්ධියෙන් පසු යළි කිසි දිනෙක කලවිටිමැඩිල්ලේ පන්සලට නොගිය කපිල කාලයාගේ ඇවෑමෙන් උසස් අධ්‍යාපනය හමාර කැර විදේශ රටක පදිංචියට ගියේ ය. එයින් වසර විසිතුනකට පසුව ඔහු තම උපන්ගම වෙත පැමිණි අතර එය එහෙම පිටින් ම වෙනස්වී පෙර මතකයෙන් පාරක් තොටක් පවා සොයාගත නොහැකි තරමට නවීකරණයෙන් නාගරික වී තිබිණ. තමා දකින දියුණු පරිසරය පිළිබඳව මහත් සේ සතුටට පත්වූ ඔහු තම මහගෙදරට පා තබන විට එය පවා හඳුනාගත නොහැකි ලෙස නවීකරණය වී ඇති බැව් දුටුවේය.
‘ දැං කොහොමද කලවිටිමැඩිල්ලේ පන්සල .. ඒකත් දැං බොහොම දියුණු වෙලා ඇති මයේ හිතේ .. ඔය චෛත්‍යය හදන්න අරගත්ත වෙලාවේ මං පොඩි ගෝරියකුත් දා ගත්තනේ .. ‘ යි ඔහු තම ලොකු අක්කාගෙන් ඇසුවේ සිනාසෙමිනි.
‘ ආ .. ඒ චෛත්‍යය නං තාම හදනවා .. ලොකු හාමුදුරුවෝ අපවත් වුණානේ .. පොඩි හාමුදුරුවොත් ඔස්ට්‍රේලියාවට වැඩම කරලා එහේ පන්සලක ඉන්නවලු … දැං ඔන්න ජපන් කෝටිපතියෙක් එනවා කියන්නේ .. පන්සල දියුණු කරන්න .. හැබැයි ඉතිං ටියුෂන් පංති ටික නොතිබුණා නං පන්සලක් තියෙනවද කියලවත් මතකෙට එන්නෑ … ‘ යි ලොකු අක්කා කීවාය.

– කේ.සී.ජේ.රත්නායක 

Leave a Reply

Your email address will not be published.