Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින වසංගත තත්ත්වයත් සමඟ ඊයේ (16 වැනිදා) සිට ගෙවී ගිය දින හයක කාලයේදී මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වූ රෝගීන් එකසිය හතළිස් (140) දෙනකු මියගොස් තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 961ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙම මරණ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවත් සිදුව ඇත්තේ ඍජුවම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. දින හයකදී සිදුවූ එම මරණ සංඛ්‍යාව අනුව මේ වන විට මෙරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය අගය විස්සක් (20ක්) ලෙස වාර්තා වෙමින් තිබෙන අතර එය අඛණ්ඩව සිදු වුවහොත් මෙම මාසය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයන් හයසියයකට පමණ ජීවිත අහිමි වීමේ තත්ත්වයක්ද නිර්මාණය වී තිබේ.

තත්ත්වය එසේ වෙද්දී කොළඹ විශ්වවිද්‍යාලයේ ප‍්‍රසව හා නාරිවේද අංශයේ මහාචාර්ය හේමන්ත සේනානායක මහතා සඳහන් කරන්නේ කොරෝනා වසංගතයත් සමඟ ඇතිව තිබෙන ව්‍යසනයේ තීරණාත්මකම අවස්ථාවට මේ වන විට රට මුහුණ දී සිටින බවකි. මෙරට තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම සහ සිදුවන මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව පෙන්වා දෙන මහාචාර්ය හේමන්ත සේනානායක මහතා ලබන ජුනි මාසය වන විට එය තවදුරටත් ප‍්‍රබල ලෙස උත්සන්න වනු ඇතැයිද සඳහන් කර තිබේ.

රට තුළ සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව මේ අන්දමට ඉහළ යමින් තිබියදී වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ සිව්වන ගැබිණි මරණයද පෙරේදා මෙරටින් වාර්තා විය. තිස්සමහාරාම යායගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ එම ගැබිණි මාතාව කොරෝනා වෛරසයට ගොදුරු වී මියයද්දී ඇගේ කුස තුළ සිටි මාස අටක් වූබිළිඳියටද දිවි අහිමි වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මහරගම ප‍්‍රදේශයේදී පැවති සාදයකට පසුගිය අපේ‍්‍රල් 29 වැනිදා සිය පවුලේ අය සමඟ පැමිණ සහභාගි වීමෙන් පසු ඇයට වෛරසය ආසාදනය වී තිබෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත. මේ අතර පවතින රෝහල් තදබදයට පිළියමක් ලෙස රෝග ලක්‍ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවෙස්වලම තබා ප‍්‍රතිකාර කිරීම අද (17) සිට ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අලූත් අවුරුදු පොකුර හෙවත් මෙරට තුන්වන කොරෝනා රැල්ලේ ආරම්භයත් සමඟ දිනෙන් දින වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීම නිසා රෝහල් ධාරිතාව ඉක්මවා යෑම සහ ඒ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලූවලට විසඳුමක් ලෙස මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව ඉකුත් දා කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

මෙලෙස රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙස් තුළ තබා ප‍්‍රතිකාර කිරීමේ නව ක‍්‍රමය සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ එමගින් මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් නිවෙස් තුළම ආසාදිතයන් මියයෑමේ අවදානමක්ද මතුවන බවය. මේ සඳහා පවතින යටිතල පහසුකම් ප‍්‍රමාණවත් නොවන බවද, එවැන්නක් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිසි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ යුතු බව ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

මේ දිනවල රට තුළ කොරෝනා වෛරසයට එරෙහිව එන්නත්කරණ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කර තිබුණ ද කොරෝනා වෛරසය ආසාදනය වී සිටින පුද්ගලයන් එන්නත් ලබා ගැනීමෙන් වැළකී සිටිය යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් එන්නත ලබා ගැනීමෙන් කිසිදු ප‍්‍රයෝජනයක් අත් නොවන බව ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය. දැනට නිරෝධායනයට ලක් කර සිටින අයට සහ වෛරසය ආසාදනය වෙතැයි සැක කරන අයට එන්නත් ලබා දීම දැනටමත් සෞඛ්‍ය අංශ ප‍්‍රමාද කරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ අතර රට තුළ මේ වන විට පවතින අධි අවදානම්කාරී කොරෝනා වසංගත තත්ත්වය යම්තාක් දුරට පාලනය කර ගැනීම සඳහා ඉකුත් බ‍්‍රහස්පතින්දා සිට තෙදිනක් පුරා රජය ප‍්‍රකාශයට පත් කර තිබූ දැඩි සංචරණ සීමා පැනවීම අද (17) පෙරවරු 4.00ට අවසන් විය. එසේ වුවද පළාත් අතර ගමන් කිරීම සීමා කරමින් සහ ජාතික හැඳුනුම්පතේ අංක ක‍්‍රමය අනුව නිවෙස්වලින් බැහැරට පැමිණිය හැකි ලෙස පැනවූ සංචරණ සීමා ලබන 31 වැනිදා දක්වා කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එහිදී රැකියාවලට යන පුද්ගලයන් හැර අනෙකුත් අයට ජාතික හැඳුනුම්පත භාවිත කරමින් නිවෙසින් බැහැර යා හැක්කේ ළඟම පිහිටි වෙළෙඳ සල වෙත ගොස් අවශ්‍ය දෙයක් මිලදී ගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. අත්‍යවශ්‍ය සේවාවන්ට හැර පළාත් අතර ගමන් කිරීම සීමා කිරීමට පොලිසිය දැඩිව කටයුතු කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *