Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබා දී තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට, රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පිරිසට එරෙහිව අදාළ පෙත්සම් දෙක ගොනුකර තිබුණි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් ඉන් එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබූ අතර අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් විසිනි.

ඒ අනුව, ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලුණි.

අදාළ පෙත්සම් මගින් කරුණු ඉදිරිපත් කර තිබූ, වග උත්තරකරුවන් විසින් අමෙරිකානු ඩොලරය රුපියල් 203 ක වටිනාකමේ රඳවා ගැනීමට උත්සාහ කිරීම, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඉකුත් ජනවාරි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සහ ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීම යන කාරණා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විගණකාධිපතිවරයාට නියෝග කර තිබේ.

එම වාර්තාව ලබන වසරේ ජනවාරි මස 18 වැනිදාට පෙර ගොනුකරන ලෙසද අධිකරණය විගණකාධිපතිවරයාට නියෝග කර ඇත.

ඊට අමතරව, වත්මන් ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පියවරයන් ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සහ රාණි ජයමහ මහත්මිය පාර්ලිමේන්තු කෝප් කමිටුවේ දී සිදුකරන ලද ප්‍රකාශවලට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කර තිබේ.

එම ලේඛන නොවැම්බර් මස 30 වැනිදාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කර ඇත.

ඉන් අනතුරුව, අදාළ පෙත්සම් ජනවාරි මස 09 වැනිදා යළි කැඳවීමට නියෝග කළ බව අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *