Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු විස්සයි විස්ස තර⁣ගයේ ජය තමන් සතු කරගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 28 කින් පරාජය කරමින්.

තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී.

තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි  තීරණය කලේ.

ඒ අනුව පිටියට පිවිසි ක්වින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් දකුණු අප්‍රිකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන් අතර ක්වින්ටන් ඩි කොක් ලකුණු 36ක් රැස් කලේ පන්දු 32කදී. රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 30කදී ලකුණු 38ක් රැස් කළා.

අනතුරුව පිටියට පිවිසි ඒඩන් මාක්‍රම් පන්දු 33කදී වේගවත් ලකුණු 48 ක් රැස් කල අතර එයට හතරේ පහර එකක් සහ හයේ පහර දෙකක් ඇතුලත්. ඩේවිඩ් මිලර් ලකුණු 26යි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 163ක් වාර්තා කල අතර පන්දු යැවීමේදී වනිදු හසරංග ප්‍රතිවාදීන්ට ලකුණු 23ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවාගත්තා. මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර සහ දසුන් ශානක අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ලකුණු 164ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු දුවද්දී දවා ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් වූ අතර අවිශ්කට රැස් කරගත හැකි වූයේ ලකුණු 11ක් පමණයි.

මෙම තරගයේදීත් සුපුරුදු පරිදි භානුක රාජපක්ෂට ක්‍රීඩාගාරය වෙත යාමට සිදු වූයේ කිසිදු ලකුණක් ලබා ගත නොහැකිවයි.

තම ජේෂ්ඨත්වයේ අත්දැකීම් මුසු කර ගනිමින් දිනේශ් චන්දිමාල්  සුපිරි ඉනිමක් ක්‍රීඩා කල අතර ඔහු නොදැවී පන්දු 54 කදී ලකුණු 66 ක් රැස් කලා. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින්. එය චන්දිමාල් 20යි 20 ජාත්‍යන්තර තරගයක ලබාගත් හයවන අර්ධ ශතකයයි.

දකුණු අප්‍රිකාව සමග පැවති එක් දින තරගාවලියේ වීරයා වූ චරිත් අසලංකට මෙම තරගයේදී  රැස් කරගත හැකි වූයේ පන්දු 19කදී ලකුණු 6ක් පමණයි.

නායක දසුන් ශානක ලකුණු 16යි. චාමික කරුණාරත්න ලකුණු 22 ක් රැස් කල අතර ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ රැස් කරගත  හැකිවූයේ කඩුලු 6ක් දැවී  ලකුණු 135ක් පමණයි.

පන්දු යැවීමේ දී , ජෝර්න් ෆෝටුයින්, අන්රිච් නොකියා, කේෂාව් මහරාජ්, ටැබ්රයිස් ශම්සි හා ඩ්වේයන් ප්‍රෙටෝරියස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ඒඩන් මාක්‍රම්.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය එළඹෙන 12 වනදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *