සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) සෙන්චූරියන්හි සුපර්ස්පෝට් පාර්ක් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා. තරඟය ආරම්භයටත් පෙර දෙපිලේම නායකයින් සහ පන්දු යවන්නන් සඳහන් කර සිටියේ වේග පන්දුවට හිතැති තණතීරුවක් නිසා පිතිකරුවන් අසරණ වන තරඟයක් ලෙස මෙය පැවැත්වීමට ඉඩ ඇති බවයි.
කෙසේ නමුත් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළා.
ඒ අනුව පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 340ක්.
නායක දිමුත් කරුණාරත්න සිය සුපුරුදු රිද්මය වෙනස් කරමින් වේගවත් ආරම්භයක් තරඟයට රැගෙන ආ අතර පන්දු 20ක් තුල ලකුණු 22ක් ලබා සිටියදී එන්ගිඩි ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියා.
ඉන්පසු පිටියට පිවිසි කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් සිය ඉනිම් සාර්ථක ලෙස ආරම්භ කරත් ඔවුන් දෙදෙනාම අනවශ්‍යය පහරකට ගොස් උඩ පන්දු දෙකක් ලබාදී දැවී ගියා.
කෙසේ නමුත් ලකුණු 54 කඩුලු 3ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම අසරණව සිටින අවස්ථාවේදී ඉනිමට ශක්තිමත් සම්බන්ධතාවයක් එකතු කිරීමට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා සමත් වුනා.
ශ්‍රි ලංකා පළමු ඉනිමේ නැංගුරම බවට පත්වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 85ක් රැස් කළේ හතරේ පහර 11ක් සමගින්.
මොවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැඟූ සම්බන්ධතාව ලකුණු 131ක්.
එම සම්බන්ධතාවය වාර්තා අතරට එක් වුණේ සෙන්චූරියන්හි සුපර්ස්පොර්ට් පාර්ක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සදහා ගොඩනැගූ ඉහළම සම්බන්ධතාවය ලෙසයි.
මීට පෙර කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එම වාර්තාවට උරුමකම් කියූ අතර ඔවුන් 2002 වසරේ මෙම ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයකදී තෙවැනි කඩුල්ල සදහා ලකුණු 119 ක සබදතාවක් ගොඩ නගා තිබුණා.
තවද ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාවට එරෙහිව සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ඉහළම ලකුණු සම්බන්ධතාවය වන්නේ ද ධනංජය සහ චන්දිමාල් අද ගොඩු නැගූ මෙම සම්බන්ධතාවයයි.
පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජය ද සිල්වාට ලකුණු 79 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඇතුළත්ව තිබුණා.
ඉනිම ආරම්භ කළ කුසල් පෙරේරා ලකුණු 16කට දැවී ගියා.
අද දිනයේ දී සිය ටෙස්ට් දිවියේ ලකුණු 3000 සීමාව පසු කර ගිය කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 12ක් පමණයි.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 49කට දැවී ගියා.
දික්වැල්ල සහ චන්දිමාල් අතර ද ලකුණු 99ක සබදතාවයක් ගොඩ නැගුණා.
මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් වනිදු හසරංග ලකුණු 18ක් ලබා ගත් අතර, දසුන් ශානක නොදැවී ලකුණු 25යි.
පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් වියාන් මුල්ඩර් කඩුලු 3ක් බිද හෙලුවා.
– ශාෂිංක විදුසර –