LPL තරගාවලියට සහභාගී වීමට පැමිණී විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු තරගාවලියෙන් ඉවත්වී යළි සිය රට බලා පිටව යාමට සූදානමින් සිටින බවට වාර්තා වනවා.
ඒ, කලම්බු කිංග්ස් කණ්ඩායම හා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි කැනඩාවේ රවින්දපාල් සිං හා පාකිස්තානයේ සොහයිල් තන්වීර් යන ක්‍රීඩකයන් දෙදෙනායි.
මෙරටට පැමිණීමේ දී සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂාවෙන් පසුව ඔවුන් දෙදෙනා කොරෝනා ආසාදිතයන් බවට හදුනාගනු ලැබුවා. පසුව ප්‍රතිකාර සදහා යොමු කිරීමටයි බළධාරීන් කටයුතු කළේ.
ඒ හේතුවෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනාට මෙවර LPL තරගාවලියේ එකදු තරගයක්වත් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වූයේ නැහැ.
තරගාවලියේ වෛද්‍ය අධ්‍යක්ෂක අර්ජුන ද සිල්වා සදහන් කර ඇත්තේ අවසන් වරට සිදුකරන ලද PCR පරීක්ෂණවලට අනුව අදාළ ක්‍රීඩකයින් දෙදෙනාගේ ශරීර තුළ කොරෝනා වෛරසය නොමැති බවට තහවුරු වී ඇති බවයි.
කෙසේ වෙතත්, සෞඛ්‍ය නිර්දේශ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබන්නන් යම් කාලයක් විවේකීව ගත කළ යුතු බැවින් මෙම ක්‍රීඩකයින් දෙදෙනාට ද ඉදිරි දින කිහිපය තවදුරටත් විවේකීව ගත කිරීමට සිදුවනු ඇති.
මීට පෙර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ අෆ්ටබ් අලාම් ද පෞද්ගලික හේතූන් මත තරගාවලිය අතරතුර දී යළි සිය රට බලා පිටත්ව යාමට තීරණය කළා.