Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලෝකේ බොහෝ දේවල් වලට තේරුමක් තියෙනවා. ගොඩක් දේවල් වලට උත්තරත් තියෙනවා. මට කවදාවත් උත්තර නැති ප්‍රශ්නයක් තමයි “ඇයි ලස්සන මිනිස්සු ඉක්මනට මේ මගුල අත ඇරලා යන්නේ..?”

ඔව් ඒක මාර අමාරු ප්‍රශ්නයක්.

ඉර්ෆාන් ඛාන්. ශාරුක් ඛාන් මගේ වාණිජ සිනමාවෙ Idol එක වෙද්දි ඉර්ෆාන් චරිතාංග නලුවෙක් විදිහට මගේ හදවත පැහැර ගන්නවා. ඒ Lunchbox චිත්‍රපටයෙන්. Lunchbox කියන්නෙ භාවනාවක්. ඒ භාවනාවෙ උපරිමය Irfan.

ඊට පස්සෙ මම ඉර්ෆාන් ඉන්න හැම බඩකඩිත්තුවක්ම හොය හොයා බලන්න ගන්නවා. සිනමාවට ආපු කාලෙ රැල්ලට ගිහිල්ලා මල් ගස් වටේ නටන චිත්‍රපටි පවා මම බලනවා. ඒ හැම එකක්ම Irfan ලස්සනට Finish කරනවා.

“මිනිස්සු දකින්න කැමති මගේ වැඩ. මගේ මූණ නෙමෙයි”

ඉර්ෆාන් දවසක් එහෙම කියනවා. මේ Quote එක හරි ප්‍රසිද්ධ වෙනව ඒ දවස් වල. ලස්සන, හිනාව, සුදු මූණවල් මූලික කරගත්තු සිනමා කර්මාන්තයක් ඇතුලෙ ඉර්ෆාන් තනියම අරගල කරන්නේ එහෙමයි.

ඉර්ෆාන් ජීවිතේ අරඹන්නේ හරිම සාමාන්‍ය විදිහට. රාජස්ථාන් ප්‍රාන්තයේ ටොන්ක් කියන දිස්ත්‍රික්කේ උපදින ඉර්ෆාන්ගෙ අම්මයි තාත්තයි අතිශය සාමාන්‍ය උදවිය. ඉර්ෆාන්ගේ තාත්තාට තිබ්බෙ ටයර් වැඩපොලක්. අම්මා සාමාන්‍ය ගෘහණියක්.

ඉර්ෆාන් ජීවිතේ ජයග්‍රහණ ලබන්න ගන්නේ රංගනයෙන් නෙමෙයි ක්‍රිකට් වලින්. ඉස්කෝලෙ කාලෙ ගජරාමෙට ක්‍රිකට් සෙල්ලම් කරන ඉර්ෆාන්, රාජස්තානයේ අවුරුදු 23 න් පහල දක්ශතම ක්‍රීඩකයා විදිහටත් එක් අවස්ථාවක තේරෙනවා.

“ක්‍රිකට් ක්‍රීඩකයොයි, නලුවොයි පොඩි උංට ආදර්ශයක් වෙනවනම් තමයි. ඒ වුනාට උං එකෙක්වත් වීරයො නම් නෙමෙයි.”

ඉර්ෆාන් පස්සෙ දවසක එහෙම කියන්න තමන්ගෙ ක්‍රීඩාශීලී අතීතයේ වේදනාත් හේතුවක් වෙන්න ඇති.

MA උපාධිය වෙනුවෙන් මුම්බායි එන ඉර්ෆාන් ජීවිතේ ලොකු කරණමක් ගහනවා. ඒ නලුවෙක් වීමෙන්. පොඩි පොඩි ටෙලි වල පොඩි පොඩි චරිත වලින් පටන් ගන්න නලු ජීවිතේ ලස්සනට උඩහට ගලාගෙන යනවා.

“Fail, Pass, ඉහල යෑම්, පහල යෑම් ජීවිතේ සාමාන්‍ය දේවල්. Industry එකක් වුනත් එහෙමයිනේ”

මාධ්‍යවේදීන්ට ඔහු සිනහවෙන් උත්තර දෙනවා.

ඉර්ෆාන් ඉස්සරහට යනවා.

Billu
Piku
Lunch Box
Karavan
Hindi Medium
New York
Angrezi Medium
Talvar
Gunday
D Day
Haider
Life in a Metro
Black Mail වගේ හින්දි චිත්‍රපටවල විතරක් නෙමෙයි,

Life of Pi
Inferno
Jurrasic World
The Amazing Spider Man
Slumdog Millionaire

වගේ හොලිවුඩ් නිර්මාණවලත් ඔහු තමන්ගේ රංගන හැකියාව පෙන්නනවා.

ඔහු ලෙඩ වෙනවා. මාස ගාණක් තිස්සේ පිලිකාවකට එරෙහිව සටන් කරපු ඉර්ෆාන් එයින් සුවය ලැබූ බවට ප්‍රවෘත්ති ලැබෙන්න ගන්නවා.

“ඔයාල හිනාවෙනකන් මම සටන් කරනවා” ඉර්ෆාන් හිනාවෙවී කියනවා.

දවස් තුනකට කලින් (26) ඉර්ෆාන්ගෙ අම්මා මිය යනවා. Covid – 19 නිසා ඉර්ෆාන්ට අම්ම ලඟට යන්න බැරි වෙනවා. වීඩියෝ එකකින් අම්මගෙ අවසන් කටයුතු දකින ඉර්ෆාන් අඬනවා. සංවේදී වෙනවා.

ඒ දුකෙන්ද කියල දන්නෑ, ඉර්ෆාන් ආයෙමත් ඊයෙ (28) ලෙඩ වෙනවා. මුම්බායි හි අම්භානි පෞද්ගලික රෝහලට ඔහුව හදිසියේ ඇතුලත් කරනවා.

පවුලේ අයගෙ සෙනෙහස මුසු කඳුලු වලට මැදි වෙලා ඉර්ෆාන් අද උදෑසන අපව අත ඇරලා යන්නම යනවා.

Irrfan Khan, Magnificent Actor, Dies In Mumbai “Surrounded By Family.”

NDTV පුවත් සේවය ඔහුගේ අවසානය ගැන එහෙම වාර්තා කරනවා.

“කවුරුහරි තියටර් එකකින් එලියට ආවට පස්සෙ ඔහුට මගේ ඒ රංගනය ගැන ආයෙ ආයෙ මතක් වෙන්නැත්නම් අන්න එතනදි මට අවුල් යනවා මම ගැනම”

ඉර්ෆාන් එහෙම කියනවා.

ඉර්ෆාන් කවදාවත් අවුල් ගන්න එකක් නෑ. අපට හැමදාම ඉර්ෆාන්ව මතක තියේවි.

“ඉර්ෆාන් මැරුණෙ නෑ”

හෙටත් Lunchbox බලල අඬන මම මටම කියා ගනීවි !

සටහන : මහේල හෙට්ටිආරච්චි

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *