Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන විස්සයි විස්ස තර⁣ගයේ ජය තමන් සතු කරගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී.

තරගයේ කාසිය වාසිය දිනාගත් නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කලේ. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට අවතීර්ණ වූයේ කුසල් පෙරේරා සමගින් දිනේශ් චන්දිමාල්.

පෙර තරගයේදී සාර්ථක වූ දිනේෂ් චන්දිමාල්ට මෙම තරගයේදී සාර්ථක වීමට අවස්ථාව ලබා නොදුන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් චන්දිමාල්ව දවා ගත්තේ ලකුණු 5ක් අතැතිව සිටියදී.

අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ තමා ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් පන්දු 13කදී වේගවත් ලකුණු 20ක් ලබා ගත්තේ 4 පහර තුනක් සහ එක් 6 පහරක්ද සමඟින්. නමුත් ඔහු ඒඩන් මක්‍රම්ගේ පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස දැවී ගියේ උඩපන්දුවකින්.

පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා ලකුණු 4ක් රැස් කල අතර නායක දසුන් ශානකට රැස් කර ගත හැකි වූයේ පන්දු 8 කදී ලකුණු 10ක් පමණයි. කුසල් පෙරේරා පන්දු 25 කදි ලකුණු 30ක් වාර්තා කලා.

වනිදු හසරංග ලකුණු 4ක් සහ චාමික කරුණාරත්න ලකුණු 8ක් රැස් කලා. චරිත් අසලංක පන්දු 20 කදී රැස් කල ලකුණු සංඛ්‍යාව 14ක්.

පන්දු යැවීමේදී ටැබ්රයිස් ශම්සි සහ ඒඩන් මක්‍රම් කඩුලු 3 බැගින් ලබාගත් අතර ජෝන් ෆෝටුයින් කඩුලු 2ක් බිඳ හෙලුවා. අන්රිච් නොකියා මහ කේෂාව් මහරාජ් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව පන්දු වාර 18.1 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 103 ක් පමණයි.

ලකුණු 104 ක පහසු ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන ක්වින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් දකුණු අප්‍රිකානු කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන් අතර රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 18ක් රැස් කලා.

නව වන පන්දු වාරයේදී වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් තරගය මදකට නතර කිරීමට සිදු වූ අතර එම අවස්ථාව වන විට දකුණු අප්‍රිකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී රැස් කරගෙන සිටි ලකුණු ප්‍රමාණය 65 ක්.

පැය භාගයක පමණ ප්‍රමාදයකින් පසුව නැවතත් තරගය ආරම්භ වූ අතර ක්වින්ටන් ඩි කොක් සමඟින් ඒඩන් මක්‍රම් දකුණු අප්‍රිකාව ජයග්‍රාහී ලකුණු පුවරුව සඳහා ගෙන ගියේ ඉතාමත් පහසුවෙන්.

ක්වින්ටන් ඩි කොක් නොදැවී අර්ධ ශතකයක්ද සමඟින් පන්දු 48 කදී ලකුණු 57 ක් රැස් කලා.එයට හතරේ පහර 7ක් ඇතුලත්.ඒඩන් මක්‍රම් නොදැවී පන්දු 19 කදී ලකුණු 21ක් රැස් කලා.

පන්දු යැවීමේදී වනිදු හසරංග එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 14.1 ක් තුල ඉතා පහසුවෙන් ලකුණු 105ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කලා. තරගයේ වීරයා බවට පත්වූයේ ටැබ්රයිස් ශම්සි.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියේ තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර මෙම තරගාවලියේ තෙවන තරගය එළඹෙන 14 වනදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *