Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රඹුක්කන දැළිවල කොටවෙහෙරේ දී සොරා ගැනීමට ලක්වූ අතිශයින්ම පෞරාණික භාණ්ඩ තැන්පත්කර තිබූ වීදුරු කුටියේ එම භාණ්ඩ සමග තිබුණු වෙල්වට් රෙදි කැබැල්ලක් සහ ජංගම දුරකථනයක් විහාරස්ථාන භූමියේ අතහැර දැමූ ලිදක තිබී හමුව ඇත.

මේ පිළිබඳව විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණ වලදී එය සොයා ගෙන ඇති අතර එහි අනන්‍යතාව හෙළිකර ගැනීමට මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට මේ සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් සොයා ගෙන ඇති අතර අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ඉතා ඉක්මනින් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

පසුගිය දා මෙසේ සොරකමට ලක් වූයේ ලෝකයේ හොඳින්ම ආරක්ෂා වී තිබූ විශිෂ්ටම පෞරාණික දාගැබ් ආකෘතිය සේ සැලකෙන දෙවනපෑතිස් රජ දවස මිහිඳු හිමියන්ගේ අනුශාසනා මත නිර්මාණය කළ රන්මුවා කරඬුව ඇතුළු ඒ වකවානුවටම අයත් වසර දෙදහස් දෙසීයක් පැරණි කරඬු 09කි.

රඹුක්කන දැලිවල කොටවෙහෙරේ ලෝක උරුමය කොල්ල කෑ අපරාධකරුවන් සම්බන්ධව කෑගල්ල දිස්‍ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙතෙක් සිදුකරන ලද විමර්ශන සඳහා පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කණ්ඩායමක්ද අනුයුක්ත කිරීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව කෑගල්ල කොට්ඨාසය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සොරකම සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් යම් තොරකුරක් ලබා දෙන පුද්ගලයකු වේ නම් රුපියල් ලක්ෂ විසිපහක මූල්‍ය ප්‍රදානයක් දෙන බවට ද පොලිසිය මේ වනවිට නිවේදනය කර තිබේ.

මේ සොරකම සම්බන්ධව යම් තොරතුරක් වෙතොත්,

රඹුක්කන පොලිස් ස්ථානධිපතිවරයාගේ දුරකථන අංක 071-8591419 හෝ කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර ගේ 071 8592038 දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.