Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති T20 තරගාවලිය 3-0 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 කින් පරාජය කරමින්. තරඟය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී.

ජයග්‍රාහි දකුණු අප්‍රිකානු කණ්ඩායම

තරගයේ කාසිය වාසිය දිනාගත් නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කලේ. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට අවතීර්ණ වූයේ කුසල් පෙරේරා සමගින් අවිශ්ක ප්‍රනාන්දු.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 12ක් අතැතිව සිටියදී දැවී ගියේ රබඩාගේ පන්දුවක් හමුවේ උඩපන්දුවකින්. පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වාට මෙම තරගයේදී ද ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

භානුක රාජපක්ෂ පන්දු 6කදී ලකුණු 5ක් රැස් කලා. චරිත් අසලංක වෙනුවට අද තරගය ක්‍රීඩා කල කමිදු මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ පන්දු 16කදී ලකුණු 10ක් පමණයි.

භානුක රාජපක්ෂගේ අසාර්ථක පිතිකරණය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නැංවීම සඳහා තම අත්දැකීම්ද උපයෝගී කරගනිමින් කුසල් පෙරේරා පන්දු 33 කදී ලකුණු 39ක් රැස් කල අතර ඔහු දැවී ගියේ කේශව් මහරාජ්ගේ පන්දුවක් හමුවේයි.

තරගාවලියේ  දිගින් දිගටම අසාර්ථක වූ නායක දසුන් ශානකට අද තරගයේදී ද රැස් කරගත හැකි වූයේ ලකුණු 18ක් පමණයි. එයට 4 පහර දෙකක් ඇතුලත්.

වනිදු හසරංග ලකුණු 4 ක් වාර්තා කල අතර ලහිරු මධුසංක එක් ලකුණක් අතැතිව සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

අනතුරුව පිටියට පිවිසි චාමික කරුණාරත්න කණ්ඩායමේ බර තම කරමතට ගනිමින් නොදැවී ලකුණු 24ක් රැස් කලේ හයේ පහර දෙකක්ද සමඟින්. ඔහු තම පිතිකරණය හසුරුවමින් අද දිනයේ ඔප්පු කලේ තමන්ට පිතිකරණ ලැයිස්තුවේ ඉහල ස්ථානයක් ලැබිය යුතු බවටයි.

දුශ්මන්ත චමීර ලකුණු 2යි. පන්දු යැවීමේදී ජෝන් ෆෝටුයින් සහ කගිසෝ රබඩා කඩුලු දෙක බැගින් බිදහෙලූ අතර කේශව් මහරාජ්, ඒඩන් මාක්‍රම් සහ වියන් මෝල්ඩර් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

දුර්වල පිතිකරණය සහ දකුණු අප්‍රිකාණුවන්ගේ ප්‍රභල පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 හමුවේ කඩුලු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 120ක් පමණයි.

ඒ අනුව ලකුණු 121ක පහසු ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 14 යි පන්දු 4කදී ලකුණු 121 ක් ලබා ගනිමින් අද තරගයත් ඉතා පහසුවෙන් ජය ගනු ලැබුවා.

රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 42කදී ලකුණු 56ක් රැස් කලේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින්. ක්වින්ටන් ඩි කොක් ලකුණු 59 යි. එයට 4 පහර හතක් ඇතුලත්.

නොදැවී ලකුණු 121ක වාර්තාගත සම්බන්ධතාවයක් පිහිටවූ ඩි කොක් සහ හෙන්ඩ්රික්ස්

ඒ අනුව ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති T20 තරගාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කරමින් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව අද සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට ප්‍රථම ඉතිරිව ඇත්තේ තවත් විස්සයි විස්ස තරඟ දෙකක් පමණි. ඒ ඕමාන් කණ්ඩායම සමඟින්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *