Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තමන් කිසිදු දේශපාලන පක්ෂයකට හිතවාදීව කටයුතු නොකරන බව ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය පවසයි.

ඇය ප්‍රකාශ කළේ, යම් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන කාන්තාවක සමග ගත් ඡායාරූපයක් භාවිත කරමින් ඇතැම් පිරිස් තමන් එම පක්ෂයට හිතවාදීව කටයුතු කරන බවට වැරදි මතයක් සමාජගත කිරීමට ගත් උත්සහය ගැන කනගාටු වන බවය.

තමන් හමුවීමට පැමිණි නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය සමග තමන් ඡායාරූපයකට පෙනී සිටි පමණින් තමන් ඇය නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ බවට මඩ ප්‍රචාර එල්ල කිරීම පිළිගත නොහැකි බවය.

දේවානි ජයතිලක
දේවානි ජයතිලක මහත්මිය නිරූපා සේරසිංහ මහත්මිය සමඟ පෙනී සිටි ජායාරුපය

මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී කිසිවෙකු සමග ඡායාරූපවලට පෙනී නොසිටීමටත්, කිසිදු පාර්ශවයක් සමග ස්වේච්ඡා සේවාවන්වල නිරත නොවීමටත් තීරණය කළ බව දේවානී ජයතිලක මහත්මිය පැවසුවාය.

මට දැන් කිසි ම වැඩකට යන්න බයයි. ඒ වැඩවලට කවුරු හරි දේශපාලකයෙක් ආවොත් ඡායාරූපයක් අරන් සමාජ මාධ්‍යවල දායි මම ඒ දේශපාලන පක්ෂයට සම්බන්ධයි කියලා. ඒ නිසා මම ටික කාලෙකට ඒ වගේ වැඩවලට සහභාගි නොවෙන්න තීරණය කළා,

දේවානී ජයතිලක මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් දේවානී ජයතිලක මහත්මිය සඳහන් කර තිබුණේ, තමන් සමග ගත් ඡායාරූපය නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය විසින් අවභාවිත කරනු ලැබ ඇති බවය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැන ගැනීම සඳහා අපි නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය ඇමතීමු.

ඇය ප්‍රකාශ කළේ, තමන් අදාළ ඡායාරූපය කිසිදු දේශපාලනික අරමුණක් සහිතව හෝ එවැනි සටහනක් සහිතව පළ නොකළ බවය.

මගේ මිතුරෙක් මට කියල තිබුණා දේවානී ජයතිලක මහත්මියට නීති උපදෙස් අවශ්‍ය වෙලා තියෙනවා කියලා. ඒ අනුව මම ගම්පහ ප්‍රදේශයේ රැස්වීමකට ගිය අතරතුර දේවානිගේ ගෙදරට ගිහින් ඇය මුණ ගැසුණා. ඒ ඇයගේ ඉල්ලීම මත. එයා මම කවුද කියන එක මම යන්න කලින් ම දැනගෙන හිටියා. එහිදී අපි කිසි ම ආකාරයකින් දේශපාලනය ගැන කතා කළේ නැහැ. ඒ වෙලාවේ ඇයගේ කැමැත්ත ඇතිව මම ඇයත් සමග ගත්ත ඡායාරූපයක් “හමුවීම්” කියන සිරස්තලය එක්ක ෆේස්බුක් එකේ පළ කළා. එපමණයි වුණේ. පස්සේ මේ ගැන ඇති වූ යම් වැරදි වටහා ගැනීමක් මත ඇය කිව්වා ඒ ඡායාරූපය ඉවත් කරන්න කියලා. ඒ නිසා මම ඒක ඉවත් කළා.

නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය සිද්ධිය විස්තර කළාය.

ඇය ප්‍රකාශ කළේ, එම ඡායාරූපය භාවිත කරමින් වෙනත් පාර්ශවයක් විසින් වැරදි මතයක් සමාජගත කිරීමට උත්සාහ කර ඇති බවය.

මම කනගාටු වෙනවා මේ සිද්ධිය ගැන. දේවානී ජයතිලක කියන්නේ සමාජයට යහපත් දෙයක් කරන්න උත්සහ කරන කෙනෙක්. මගෙත් අරමුණ ඒක. ඒ නිසා අපි දෙන්නා අතර ප්‍රශ්නයක් ඇති වෙනවට මම කැමති නැහැ. එහෙම වුණොත් ඒකෙනුත් වාසි ගන්නෙ වෙනත් පාර්ශව. මම මේ ප්‍රශ්නය මෙතනින් එහාට ගෙනියන්න උත්සහ කරන්නෙ නෑ,

නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය සඳහන් කළාය.

දේවානී ජයතිලක මහත්මිය මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණය වෙනුවෙන් විශාල හඬක් නගමින් සිටින අතර අවස්ථා කිහිපයකදී ම ඇය දේශපාලකයින්ගේ බලපෑම් හමුවේ පරිසර විනාශයට එරෙහිව දැඩි ස්ථාවරයක පසු විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *