පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 32 කි.
මේ අතර අප කළ විමසීමකදී බදුල්ල රෝහලේ අධ්යක්ෂවරයා පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ 30 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.ඉන් 16 දෙනෙකු කාන්තාවන් ය.
තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් සංඛ්‍යාව 14ක්ද සිටී.
ඒ, අතර වයස අවුරුදු 11 ත් 13 ත් අතර වයස්වල පසුවන තිදෙනෙකු ද වේ.
රෝහල් අධ්යක්ෂවරයා පැවසුවේ, බරපතල තත්ත්වයේ පසුවන දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
තුවාල ලැබූ තවත් 07 දෙනෙකු ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර අද පොලිස් මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අජිත් රෝහණ මහතා සඳහන් කලේ බස් රථ අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බවයි.
“අනතුර සිදුවූ ස්ථානය අසල ඇති හෞතික හා පරිවේෂණීය සාක්ෂි පරික්ෂා කිරීමේ දී පෙනී යන්නේ රියදුරාට මේ බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබී නැහැ. කෙසේවෙතත් මේ බස් රථය සම්බන්ධයෙන් තාක්ෂණික පරික්ෂාවක් මෝටර් වාහන පරික්ෂකවරුන් විසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව සෑම අතින්ම අනතුරක් වළක්වාගැනීම රියදුරාගේ යුතුකම හා වගකීම වෙනවා. රියදුරු අසුනේ එක්තරා පුද්ගලයෙක් හිරවී හිටියා. ඔහු ඒ වන විට මියගොස් තිබුණා. මුලින් පැමිණි වාර්තාවල සඳහන් වුණේ බස් රථයේ රියදුරු මියගොස් ඇති බවට නමුත් මේ වන විට සනාථ වී තිබෙනවා එම රියදුරු අසුනේ සිරවී සිටි පුද්ගලයා රියදුරා නොවන බවත්, රියදුරා අසාධ්‍ය තත්ත්වයෙන් මේවන විට ප්‍රතිකාර ලබමින් සිටින බවත්. තුවාලකරුවන් දැනට පස්සර සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබනවා. “
අදාළ අනතුරින් මරණයට පත් පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
මේ අතර අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ බස් රථය ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමක් සිදුකර ඇති අතර අනතුර සිදුවනවාත් සමඟ එම ටිපර් රථය අනතුර සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් දැනුවත් නොකර පළාගොස් ඇති බව වාර්තා වේ.