Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් බදුල්ල – බිබිල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් සිදු වූ මාරාන්තික අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් 35 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර එම තුවාලකරුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ප්‍රමුඛ වෛද්‍ය සචිත් මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කළ වෛද්‍ය මෙහෙයුම ලෝකයේම වෛද්‍ය වෘත්තිකයන්ට අලුත් අත්දැකීමක් විය.

සාමාන්‍යයෙන් වෙනත් කිසිදු තැනක සිදු නොවන ආකාරයේ ලෝකයේ ම වෛද්‍යවරුන්ට හා රෝහල්වලට අනතුරට පත් ජීවිත බේරා ගැනීමේ අලුත් ව්‍යාපෘතියක් ලෙස මෙය දැක්විය හැකි ය. මෙමගින් ලෝකයට කියන්නේ සෑම රෝහලක ම අනතුරු ආපදා සිදු වූ ස්ථානයට ම ගොස් ප්‍රතිකාර ආරම්භ කරන වෛද්‍ය සේවාවක වැදගත්කමයි.

මෙම අනතුර සිදු වූයේ ඉකුත් 20 වැනි දා උදෑසන 07.15ට පමණ ය.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සුපුරුදු රාජකාරියට වාර්තා කරන්නට මුහුණ අතපය සෝදා ලෑස්ති වන්නට සිතනවාත් සමග උදෑසන 7.20ට පමණ ඔහුගේ ජංගම දුරකතනය නාද විය.

“ඩොක්ටර් පාලිත මම පස්සර ඩී.එම්.ඕ. ප්‍රධාන වෛද්‍ය (නිලධාරි) සමරබන්දු කතා කරන්නේ. මෙහේ විශාල බස් ඇක්සිඩන්ට් එකක්. බස් එකේ හතළිහක් පනහක් ඉඳලා තියෙනවා. කැසුවලටි ගොඩයි. බස් එක ගොඩාක් පහළට පෙරළිලා.”

මේ සමග ම මුහුණ කට සේදීම පසෙකලා ඇඳ සිටි කලිසම පිටින් කමිසයක් දමා ගත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මුලින් ම සිදු කළේ බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂවරයාට මේ බව දැනුම් දී අනතුර සිදු වූ ස්ථානයට වෛද්‍ය කණ්ඩායමක් සහ වෛද්‍ය‍ උපකරණ රැගෙන යා යුතු බව ය.

රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ඒ සියල්ල අවශ්‍ය පරිදි සපයා ගැනීමට අවසරය හිමි විය. ඒ සමග ම වෛද්‍ය සචිත් හා චින්තක ඇමතූ වෛද්‍ය පාලිත වට්ස්ඇප් හරහා සියලු වෛද්‍යවරු කැඳවන ලෙසත් ප්‍රථමාධාර සියල්ල සූදානම් කරන ලෙසත් දැනුම් දුන්නේ ය.

සාමාන්‍යයෙන් බදුල්ල – පස්සර ගමන සඳහා පැයකට ආසන්න කාලයක් වැය වෙතත් විනාඩි 25ක් වැනි කෙටි කාලයක් තුළ පස්සර මහ රෝහල කරා ගිය වෛද්‍ය පාලිතට දැකගත හැකි වූයේ ලේ වලින් නෑවී ගිය මළ සිරුරු හා තුවාලකරුවන් ය, මෙම තුවාලකරුවන් බේරාගැනීමට වෛද්‍ය සමරබන්දු ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය දරන වෙහෙසයි. මෙම ස්ථානයටත් වඩා අනතුර සිදු වූ ස්ථානයට යෑමේ වැදගත්කම තේරුම්ගත් වෛද්‍ය පාලිත කඩිනමින් එම ස්ථානය කරා ගියේය. වෛද්‍ය පාලිත රාජපක්ෂ යනු දෙවතාවක් හෘද සැත්කමට භාජන වූ අයෙකි. ඒ කිසිවක් ඔහුගේ මතකයට නැගුණේ නැත. එකම අරමුණ වැඩිපුර එක් තුවාලකරුවෙක් හෝ බේරාගැනීම ය.

අනතුර සිදු වූ ස්ථානය කරා ගිය මොහොතේ සිදු වූයේ කුමක්දැයි වෛද්‍ය පාලිත රාජපක්ෂගෙන් ම අප විමසුවෙමු.

“මෙතැනට ආවා ම දෙයියෝ බුදුන් සිහි වුණා. එතරම් ප්‍රපාතයක්. පහළට යනවා තියා හිතා ගන්නවත් බැහැ. එහෙත් මොනවා වුණත් කමක් නෑ. මම පහළට බහිනවා කියලා හිතාගෙන ඉක්මනින්ම පහළට බැස්සා. දෙතුන් පොළකදී පය ලිස්සා මා වැටෙන්න ගියා. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අයගේ ප්‍රතිකාර පටන් ගත්තේ එතැන ඉඳලමයි” යැයි කීවේය.

මෙම ප්‍රදේශයේ ජීවත් වන්නේ ඉතාමත් දුප්පත් දෙමළ හා මුස්ලිම් වැසියන්ය. ඒ මොහොතේ රෝගීන් හා මරණ ඉහළට ගෙන ඒමට අවශ්‍ය කිසිවක් නොතිබුණත් මෙහි ජනතාව සිය නිවෙස්වලින් සාරි ගෙනවිත් දී තිබූ අතර එම සාරි එකිනෙක ගැට ගසා ඒ ආධාරයෙන් සාරිවල ම ඔතා රෝගීන් ඉහළට ගෙන ඒමට අවට ජනතාව ද උපරිම සහායක් දැක්වීය.

“පැය කිහිපයක් තුළ රෝගීන් හා මරණ සියල්ල රෝහල වෙත රැගෙන යෑමට හැකි වුණා. මම ප්‍රපාතයේ ඉඳල ම තුවාලකරුවන්ව වෙන්කර බදුල්ල මහ රෝහලටත් පස්සර රෝහලටත් යැව්වා. එසේ නොකළා නම් මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම තව තවත් ප්‍රමාද වෙන්නට තිබුණා. කොහොම වුණත් මේ රෝගීන්ගේ ශල්‍යකර්ම පසු දින අලුයම 3.00 වෙනකම් සිදු කළා. මියගිය අයගේ මරණ පරීක්ෂණ අලුයම 1.00 වන විට අවසන් කළා. අපි මීට කලිනුත් අනතුරු සිදු වූ ස්ථානයටම ගිහිල්ලා ප්‍රතිකාර පටන් ගෙන ජීවිත බේරගෙන තිබෙනවා” යැයිද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, ළමා රෝග අංශයේ වෛද්‍ය සචිත් හර්ෂණ බණ්ඩාර මහතා බදුල්ල මහ රෝහල තුළ සිදු කළ මෙහෙයුම තවත් පැත්තකින් අගය කළ යුත්තකි.

තමන් සිදුකළ කාර්යභාරය වෛද්‍ය සචිත් හර්ෂණ බණ්ඩාර මහතා පැහැදිලි කළේ මෙසේ ය.

“මට කෝල් එක එනකොට 7.20ට විතර ඇති. එතකොට මම හිටියේ රෝහලේමයි. මම ක්ෂණිකව නිර්වින්දන වෛද්‍යවරයාට වගේම විශේෂඥ වෛද්‍යවරුන්ට කතා කළා. අපේ තියෙනවා වෛද්‍යවරුන් ක්ෂණිකව සම්බන්ධ කර ගන්නා මැසේජ් සිස්ටම් එකක්. ඒක ඔපරේට් කරන්නේ මම. දැන් මේ කියන විදිහට එන රෝගීන්ට අවශ්‍ය තරම් ඇඳන්, ප්‍රතිකාර උපකරණ හදිසි ප්‍රතිකාර ඒකකයේ නෑ. ඒ අවශ්‍ය‍ සියලු දේ සපයා ගත්තා. සියලුම වෛද්‍යවරුන්ට දැනුම් දුන්නා. වාට්ටුවල වෛද්‍යවරු හැර සියලු ම දෙනා රෝහලේ ප්‍රධාන ශාලාවට පැමිණ සිටියා. හුඟක් අය රෑ වැඩ කරලා ඕෆ් වෙන අය. ඒ අයත් ගියේ නෑ. සියලු ම විශේෂඥ වෛද්‍යවරු ඇවිත් හිටියා. ඒ වගේම අපේ හෙද කාර්ය මණ්ඩලය, පළපුරුදු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝගීන් ගෙන එන සැලැස්මක් අනුව සැදීපැහැදී හිටියා.

ඒ මොහොතේ තමයි ගිලන් රථ එන්න පටන් ගත්තේ. එවිට මම රෝගීන් කැටගරි කරන කාර්යභාරය භාරගෙන ගිලන් රථ තුළට ගොස් රෝගීන් වෙන්කර බාහිර අංශයේ සූදානම් කර තිබූ අංශවලට යැව්වා. රෝගීන් එළියට අරගෙන අදාළ ස්ථානවලට ගෙනියන්න කනිෂ්ඨ කාර්ය මණ්ඩලය උපරිම සේවයක් කළා. කොන්ද අත පය කැඩුණු අය එක වර ට්‍රොලියට දාන්න බෑ. ඒ අය ගෙනියන ක්‍රම තියෙනවා. ඒ සියල්ල නිසි ලෙස මේ අය කළා. මේ අයට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරු 150කට වැඩිය හිටියා. විශේෂඥ වෛද්‍යවරු උපරිම සේවයක් කළා. ශල්‍යාගාරයේදී ම සිදු කළ යුතු ප්‍රතිකාර රැසක් බාහිර අංශයේ ඉඳල ම කළා.

මේ අතර වෛද්‍ය පාලිත රාජපක්ෂ කෝල් කරලා තවත් වෛද්‍ය කණ්ඩායමක් අනතුර සිදු වූ ස්ථානයට එවන්න කිව්වා. අපි ඒ ටීම් එක යවන්න ලෑස්ති කරනකොට ම විකලාංග රෝග විශේෂඥ වෛද්‍ය චතුරංග ස්වේච්ඡාවෙන් ම ඒ කණ්ඩායම රැගෙන ගියා. අපි ඒ ගමන් ම තුන් වැනි කණ්ඩායමකුත් යවන්න සූදානම් කරලයි තිබුණේ. ඒ වගේම රෝගීන් ගේන්නත් කලින් ලේ බැංකුව ලේ ලබා දීලා තිබුණා. සාමාන්‍යයෙන් මෙහෙම වෙලාවක රෝගීන් බේරාගන්න පුළුවන් වන්නේ අනතුර සිදු වී පැයක් ඇතුළත නිසි ප්‍රතිකාර ලැබුණොත් පමණයි. මේ සියලු දේ එලෙසින්ම සිදු වූ නිසා රෝහලට ගෙන ආ රෝගීන් සියලු දෙනාගේ ජීවිත බේරාගන්න පුළුවන් වුණා” යැයි වෛද්‍ය සචිත් හර්ෂණ බණ්ඩාර කියා සිටියේය.

ටී. චන්ද්‍රසේකර

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *