Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාලනයෙන් ගිලිහී යෑම නිසා තව දෙදිනකින් පමණ පෘථිවියට පතිත වීමට නියමිත ව තිබෙන චීනයේ Long March (Chang Zheng) CZ-5B රොකට්ටුවේ බඳ කොටස, බටහිර රටවල් හුවා දක්වන තරම් ජනතාවට හා දේපළවලට අනතුරක් සිදු නො කරනු ඇති බව චීන අභ්‍යවකාශ විශේෂඥයන් ප්‍රකාශ කර ඇත. ඔවුන් චීනයේ ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පතට පවසා තිබෙන්නේ මෙහි කොටස් ජාත්‍යන්තර සාගර කලාපයට පතිත වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

අභ්‍යාවකාශ යානය පාලනයෙන් ගිලිහුනේ කෙසේද?

උඩුගුවනෙහි එකලස් කෙරෙන චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් පළමු ඒකකය වන Tianhe මොඩියුලය, Long March (Chang Zheng) CZ-5B රොකට්ටුව මගින් උඩුගුවන වෙත රැගෙන ගියේ ඉකුත් අප්‍රේල් 27 දින ය.

එය අප්‍රේල් 29 වැනි දින Tianhe ඒකකය නියමිත කක්ෂය වෙත නිදහස් කිරීමට සමත් වූ නමුත් පාලනයක් සහිත ව ආපසු පෘථිවිය දෙසට යොමු කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක නො වීම නිසා CZ-5B රොකට්ටුවේ බඳ කොටස Tianhe කක්ෂයට පහළින් පිහිටි පෘථිවි කක්ෂයකට අනපේක්ෂිත ව පිවිසියේ ය.

මේ සටහන තබන මොහොත වන විට එය පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර 231ක් ඉහළින් පැයට කිලෝමීටර 27938ක (තත්පරයට කිලෝමීටර 7ක පමණ) ප්‍රවේගයකින් ගමන් කරමින් තිබිණි. මෙය ආසන්න වශයෙන් විනාඩි 90කට වරක් පෘථිවිය වටා ගමන් කිරීමකි.

මෙය පෘථිවිය වටා ගමන් කරමින් කෙමෙන් කෙමෙන් පහළ දෙසට ඇදී එමින් තිබෙයි.

(CZ-5B රොකට්ටුවේ සහ Tianhe ඒකකයේ මේ මොහොතේ ගමන් මග https://orbit.ing-now.com/3dlaunch/payload/data/2021-035/ වෙබ් අඩවියෙන් ඔබට දැකබලාගත හැකි ය).

පාලනයෙන් ගිලිහුනු යානය පතිත වන්නේ කොහේට ද?

මෙවැනි අධික ප්‍රවේගයකින් හා විවිධ වායුගෝලීය තත්ත්වයන් යටතේ පාලනයකින් තොර ව ගමන් කරමින් පවතින වස්තුවක් නිශ්චිත ව ම පතිත වන ස්ථානය පැවසීමට තවමත් කල් වැඩි බව විශේෂඥයෝ පවසති.

මෙය මැයි 09 දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 6.30ත් මධ්‍යම රාත්‍රී 12.30ත් අතර වේලාවක පැසිෆික් සාගර කලාපයට පතිත වනු ඇත යන්න දැනට කර තිබෙන එක් පුරෝකතනයකි. මෙය සමකය දෙපසින් අංශක 41ක් දක්වා විහිදෙන තීරුව ඇතුළත ඕනෑ ම ස්ථානයකින් වායුගෝලයට පිවිසිය හැකි ය. (අප රට ද ඇතුළත් වන්නේ මේ කලාපයට ය).

අවසන් පැය කිහිපය තුළ මෙය වායුගෝලයට පිවිසෙන ස්ථානය නිශ්චිත ව පැවසීමට හැකි වනු ඇත.

මෙම යානය කොපමණ විශාල ද?

චීන බලධාරීන් පවසන්නේ මීටර 33.2ක් දිග මීටර 5ක විෂ්කම්භයක් සහිත මේ රොකට්ටු බඳෙහි වැඩි කොටසක් ඇලුමිනියම්වලින් නිමවා තිබෙන නිසා බොහෝ කොටස් වායුගෝලයේ දී ම දැවී යනු ඇති බවයි.

මෙට්‍රික් ටොන් 18ක පමණ වියළි ස්කන්ධයක් (ඉන්ධනවලින් තොර) සහිත මේ රොකට් කොටසෙන් දැවී නො ගොස් ඉතිරි විය හැකි ස්කන්ධය සෛද්ධාන්තික ව ටොන් 8ක් පමණ විය හැකි බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට අයත් අභ්‍යවකාශ ආරක්ෂණ වැඩසටහනේ ප්‍රධානී හොල්ගර් ක්රේ පවසයි.

මේ ස්කන්ධය ද අධික ප්‍රවේගය හේතුවෙන් කුඩා කැබැලිවලට කැඩී කිලෝමීටර සිය ගණනක් පුරා විසිරී යනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

අභ්‍යාවකාශ සුන්බුන් නිසා මීට පෙර මිනිස් මරණ සිදුවී තිබේ ද?

කෙසේ නමුත් පෘථිවියෙන් හතරෙන් තුනක් ම වැසී පවතින්නේ ජලයෙන් වීමත්, රොකට්ටුවේ බොහෝ කොටස් ඉහළ වායුගෝලයේ දී දැවී යෑමත්, කඩා වැටෙන රොකට් කොටසක් මිනිසකු මතට වැටී තිබෙන්නේ අභ්‍යවකාශ ඉතිහාසයට ම එක ම එක් වතාවක් පමණක් වීමත් යන සාධක සැලකිල්ලට ගත් විට මේ අවස්ථාවෙහි ද අවදානමක් ඇති වීමට තිබෙන ඉඩකඩ ඉතා අවම බව මධ්‍යස්ථ විචාරකයන්ගේ මතයයි.

සාමාන්‍යයෙන් වසරකට ටොන් 150ක අභ්‍යවකාශ සුන්බුන් ප්‍රමාණයක් පෘථිවියට ආපසු පතිත වන බව සඳහන් වන අතර ඒ කිසිදු අවස්ථාවක මිනිස් මරණයක් වාර්තා වී නැත.

Image Source : Tu Haichao/Xinhua

මෙහි ඇති එක් ඡායාරූපයක CZ-5B සම්පූර්ණ රොකට්ටුව ද, අනෙක් ඡායාරූපයෙහි තවත් දෙවසරකින් ඉදි කර නිම කිරීමට සැලසුම් කර ඇති චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි පෙනුම ද දැක්වේ.

මධ්‍යස්ථානයෙහි රතු පැහැති චීන ධජය සහිත කොටස, CZ-5B රොකට්ටුවෙන් උඩුගුවනට රැගෙන ගිය Tianhe මොඩියුලයයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *