Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉකුත් 13 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරු දින කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටත් නියෝග කළේය.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දියයුතු බවටද නියෝග කර සිටියේය.

එම සැකකරු අද (04) හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කළ අතර එහිදී සාක්ෂිකරු විසින් සැකකරු හඳුනාගත් බව ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට වාර්තා කළේය.

මෙහි දී සැකකාර පැතුම් කර්නර් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ගැටුමේදී හමුදා වාහන, පොලිස් වාහන සහ ගිලන් රථයකට රුපියල් ලක්ෂ 16කට අධික හානියක් සිදුවූයේ යැයි පොලීසිය සඳහන් කළ ද එම අපරාධය තම සේවාදායකයා සිදුකළ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බව කියා සිටියේය.

යුද හමුදා භටයෙකු ළඟ තිබී පැහැර ගත් බව කියන ගිනි අවිය එම සැකකරුගේ සන්තකයේ තිබූ බවට ඔප්පු කිරීමටද කිසිදු සාක්ෂියක් පොලීසිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

එම සැකකරුට එල්ල වී තිබෙන චෝදනා සියල්ල ඇප දිය හැකි වැරදි හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඇප ඉල්ලීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දැඩි විරෝධය පළ කළේය. කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, සිද්ධිය වූ දා යුද හමුදා භටයකු සතුව තිබූ අදාළ ගිනිඅවිය එම සැකකරු විසින් පැහැරගත් බවට එම යුද හමුදා භටයා විසින් හඳුනාගෙන ඇති බවය.

දින 10කින් පමණ පසුව ආරක්ෂක අංශ විසින් එම ගිනිඅවිය සොයාගෙන ඇතැයි කී පොලීසිය තුවක්කු සංශෝධන පනත යටතේ ආරක්ෂක අංශ විසින් එය සොයාගන්නා තුරු අදාළ ගිනිඅවියේ ස්වාමිත්වය එම සැකකරු වෙත පැවරෙන බවත් පෙන්වා දුන්නේය.

අදාළ කාලසීමාව තුළ එම ගිනිඅවිය යොදාගනිමින් කිසියම් අපරාධයක් සිදුකර තිබේ දැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය පැවසුවේය.

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීමට විරෝධය පළ කරන බව පොලීසිය කියා සිටියේය. අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා නැවත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, එම ගිනිඅවිය පැහැරගැනීම සිදු වූ බව කියන අවස්ථාවේ විදුලිය විසන්ධිවීමක් තිබූ බවත් එවැනි අවස්ථාවක තම සේවාදායකයා විසින් මෙම ගිනිඅවිය පැහැර ගත් බවට යුද හමුදා භටයකු විසින් කරනු ලබන හඳුනාගැනීම ගැටලු සහගත බවත් ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු ඇප මත මුදා හරින බව නිවේදනය කළේය. අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 23දා කැඳවීමට ද නියම වුණි.

Leave a Reply

Your email address will not be published.