Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 870ක් අද (23) හඳුනා ගෙන ඇති බව කැලණිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී චන්දිමා වික්‍රමගේ මහත්මිය සඳහන් කරයි.

ඒ, එම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 1176කිනි. 

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 100කින් පසුගිය 21 වන දා ආසාදිතයන් 49 දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ වල වාර්තා අනුව මේ බව තහවුරුවී ඇතැයි ඇය සඳහන් කළාය. 

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් ආසාදිතයින් වැඩි පිරිසක් මේ වන විටත් නිරෝධායනය මධ්‍යස්ථානවල නිරෝධායනය වන පිරිස් බවය.  

මෙරට දෙවන කොරෝනා රැල්ලට තුඩු දුන් බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට පසුව ආසාදිතයන් අහඹු පී.සී.ආර්. පරීක්ෂණ ඔස්සේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් පසුගිය 21 වන දා හමුවන්නට විය.

ඉන් අනතුරුව එහි සේවක සේවිකාවන්ගේ හා ආශ්‍රිතයන්ගේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා නිකුත්වීමෙන් පසු ඊයේ (22) පෑලියගොඩ කොරෝනා අනු පොකුරෙන් තවත් ආසාදිතයන් 188 දෙනෙකු හඳුනා ගැනිණි.

ඒ අනුව, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ඊයේ (22) රාත්‍රිය වන විට හඳුනා ගෙන තිබුණු කොරෝනා ආසාදිතයන් 237කි.

පෑලියගොඩ කොරෝනා අනු පොකුරෙන් ඇති විය හැකි අවදානම් තත්ත්වය නිසා ම ගම්පහ දිස්ත්‍රික්කයටත්, කොළඹ ප්‍රදේශ කිහිපයකටකටත් ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් කටයුතු කළහ.

මේ අතර, පෑලියගොඩ කොරෝනා අනු පොකුර හේතුවෙන් දිවයිනේ තවත් බොහෝ ප්‍රදේශවල ධීවර වරායන්, මත්ස්‍ය වෙළෙඳ සල් හා පොදු වෙළෙඳ සංකීර්ණ වෙත බලපෑම් එල්ල වී තිබේ.

එලෙස බලපෑම් ඇතිවූ ස්ථාන අතර ගාල්ල ධීවර වරාය, බේරුවල ධීවර වරාය, දෙහිවල පොදු වෙළෙඳ සංකීර්ණය, කොට්ටාව මත්ස්‍ය වෙළෙඳ සල, පානදුර මත්ස්‍ය වෙළෙඳ සල් හා හැටන් වෙළෙඳ සල් වේ.

එම ධීවර වරායන් සහ වෙළෙඳ සල්වල සේවකයන් ද මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කර ඇති අතර ඔවුන්ගෙන් ද ආසාදිතයන් හමු වී තිබේ.

තාරක සම්මාන් සහ කුසුම් එස්. හැන්නදි – කැලණිය

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *