Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පිළියන්දල පොලිස් වසමේ හුදෙකලා තත්ත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ.

එයට හේතුව වන්නේ මැයි 2 වන දා උදෑසන 7.00 සිට පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කළ ද පැය 24ක් ගතවීමටත් මත්තෙන් එම පොලිස් බල ප්‍රදේශය මැයි 3 උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කිරීම ය.

එය සිදු වූයේ දේශපාලන මැදිහත්වීමක් හේතුවෙන් බවට සෞඛ්‍ය අංශ චෝදනා එල්ල කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අංශ ගත යුතු තීරණ දේශපාලන බලාධිකාරිය නොගත යුතු බව ය.

පවතින තත්ත්වය පිළිබඳ තීරණ ගැනීමේදී ඉහළින් ම සිටින බලධාරියා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා බවත් ඔහුගේ නිර්දේශ දේශපාලඥයන්ගේ මැදිහත්වීම් හරහා ඉවත් කළ නොහැකි බවත් වෛද්‍යවරයා පැවසීය.

ඔහු පැවසුවේ, බිම් මට්ටමේ තිබෙන ගැටලු සමග සලකා බලා වසංගත තත්ත්වය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තීරණ ගන්නා බැවින් කොරෝනාවෛරසය පැතිර යාම පාලනය කිරීමට තීන්දු තීරණ ගැනීම කළ යුත්තේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව බවය.

යම් හෙයකින් මෙවන් මැදිහත්වීම් හරහා තත්ත්වය බරපතළ වුවහොත් එයින් ලැබෙන ප්‍රතිඵලයන්හි වගකීම දේශපාලඥයන් භාර ගත යුතු බව ද වෛද්‍යවරයා පැවසීය.

නැතහොත් සිදුවන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පැමිණෙන බාධා හේතුවෙන් ඔවුන්ට එම රාජකාරිවලින් ඉවත් වීමට බව ද ඔහු අවධාරණය කළේය.

මෙලෙස පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදෙකලා තත්ත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාටය.

ඔහු එම චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යයට දැක්වූ අදහස් මෙසේ ය.

බුද්ධි අංශයේ විවිධ අංශවල තොරතුරු අනුව තිබුණේ මේ පළාත ම ලොක්ඩවුන් කළ යුතු නැතෙයි කියලා. ඒ අනුව, අපි ඉල්ලීමක් කළා ඒක පරීක්ෂා කර බලල යම් කිසි ලිහිලක් දෙන්න පුළුවන් නම් ඒ ලිහිල දෙන්න කියල. සෞඛ්‍ය බලධාරීන් එකට සාකච්ඡා කරලා ඒ සමහර කොටස් නිදහස් කළා. ඒක තමයි වුණේ.

එහිදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් බලපෑම් කර ඇති බවට වන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, තමාට සෞඛ්‍ය අංශවලට බලපෑම් කිරීමට කිසිඳු හේතුවක් නොමැති බවත් පළාතේ මන්ත්‍රීවරයා ලෙස ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඔවුන්ගේ පහසුකම් වෙනුවෙන් පෙනී සිටීමට තමාට අයිතියක් තිබෙන බවත් ය.

තව ද අමාත්‍යවරයාගේ කාර්යාලයේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතත් අමාත්‍යවරයා නිරෝධායන රීති උල්ලංඝණය කරමින් හැසිරෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල විය.

අමාත්‍යවරයාගේ කාර්යාලයේ සේවකයන්ට වෛරසය ආසාදනය වී ඇත්ද යන පැනය මාධ්‍යවේදියෙකු විමසූ අතර එය සත්‍යයක් බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයාට නිරෝධායනය වන්නට උපදෙස් ලැබී ඇත්ද යන පැනය මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

“නිරෝධායනය කළේ නැහැ. මම පී.සී.ආර්. එකක් පෙරේදත් කරලා තියනවා. ඉන්ජෙක්ෂන් එකත් අරන් තියනව දැන්. ඒකෙ ඊළඟ මාත්‍රාවත් හෙට අනිද්දට ලබා ගන්නවා.”

මේ අතර කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය මාධ්‍යට අදහස් දක්වා තිබුණේ මේ ආකාරයට ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට මම ලිඛිතව ඉල්ලීමක් කළා. මුළු පිළියන්දල ප්‍රදේශය ම ලොක්ඩවුන් කරන්න කියන එක තමයි අපි ඉල්ලීම කළේ. නමුත් මගේ දනුවත්වීමකින් තොරව තමයි එම සීමාවන් අයින් කළේ. ඇත්තට ම මගේ දැනටත් ඉල්ලීම විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමක් මගින් පමණයි බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ට කරගන්න පුළුවන් කියන එක.

තව ද ඇය ප්‍රකාශ කළේ, ආසාදිතයන් නිදැල්ලේ සැරිසැරීම හේතුවෙන් සිදු වන වෛරස ව්‍යාප්තිය අවම කර පාලනයක් කිරීම සඳහා එලෙස ලොක්ඩවුන් කිරීමකට යා යුතු බවයි.

මේ අතර අද (මැයි 4) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ, එම හුදෙකලා බව ඉවත් කිරීම දේශපාලන බලපෑමක් හේතුවෙන් සිදු නොවූවක් බවයි.

ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා කොවිඩ්-19 මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායටත්, ප්‍රාදේශීය වශයෙන් තිබෙන තත්ත්වයන් විශ්ලේෂණය කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ටත් අදාළ නියමයන් පරිදි තීන්දු ගැනීමට අවශ්‍ය අවකාශයන් සැලසී තිබෙන බව රමේෂ් පතිරණ මහතා පැවසීය.

තව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී සෞඛ්‍ය අංශ ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රජයක් ලෙස සහ මහජන නියෝජිතයන් ලෙස සහයෝගය ලබා දීමක් මිස අකුල් හෙළීමක් සිදු නොකරන බව ය.

තව ද මැයි මස පළමු වැනි දා සිට ඊයේ (මැයි 3) වන දා දිනය තෙක් දින 3 තුළ පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 160 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත අනුව තහවුරු වේ.

මේ අතර පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ද සම්පූර්ණයෙන් ම හුදෙකලා කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදකලා කර ඇත්තේ තමන්ගේ තීරණයක් අනුව නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තමන් නිර්දේශයකින් තොරව එම හුදෙකලා කිරීම වෙනස් කර ඇති බවද ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *