Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව සිදු වන වනාන්තර විනාශය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අදහස් දැක්වූ භාග්‍යා අබේරත්න සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් සමාජය තුළ ගොඩ නැගෙමින් තිබේ.

මේ වන විට ඇයගෙන් පොලිසිය කට උත්තරයක් ලබාගෙන ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇයගෙන් ප්‍රශ්න කර ඇත.

රජයේ ඇතැම් නිලධාරීන් පවසන්නේ, සිංහරාජයට අයත් නොවන පෞද්ගලික ඉඩම් මෙලෙස එළිපෙහෙළි කරන අතර සත්‍ය තොරතුරු නිසි ලෙස අධ්‍යයනය නොකර ඒ පිළිබඳව ඇය කතා කර ඇති බවය.

ඇය ඉදිරිපත් කළ තොරතුරු සම්බන්ධයෙන් පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සිය ෆේස්බුක් පිටුවෙහි දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ.

එම පැහැදිලි කිරීම මෙසේය.

“යම් වනාන්තරයක් ආරක්ෂා කර ගත යුත්තේ එය රජයේ ඉඩමක තිබෙන ආරක්ෂිත ප්‍රදේශයක් වූ නිසා පමණක් ද?, නොඑසේ නම් යම් ඉඩමක් පෞද්ගලික හිමිකාරිත්වයක් යටතේ තිබෙන විට එහි තිබෙන ස්වභාවික ශාකගහනය වනසා දැමීම් ඉදිරියේ අප මුනිවත රැකිය යුතු ද?, ඒ ගැන කතා කිරීම නීතිමය වරදක් වේ ද?, ඊට අයිතියක් කිසිවෙකුටත් නැද්ද?, එවන් වනාන්තර හෝ වන කුට්ටි එසේ හැඳින්වීම වැරදි ද? යන්නත්, පසුගිය දින කිහිපය තුළ නිරතුරුව මගෙන් කළ විමසීම් අතර විය.

මේ සියල්ලට ම පාදක වූයේ පාසල් සිසුවියක වන විනාශයක් පිළිබඳව කළ හෙළිදරව්වකින් පැන නැගුණු තත්ත්වය වේ.

මා මෙහිදී එම සිද්ධිය විග්‍රහ නොකරන මුත්, ඊට අදාලවන ඉහත පැනයන්හි පදනම විමසුමට ලක් කිරීමට යෝග්‍ය වේයැයි සිතන්නෙමි.

මීට හේතුව වන්නේ පෞද්ගලික ඉඩමක් කී පමණින් ම ඒ ගැන අප කතා කිරීමෙන් වැළකී සිටිය යුතු ද?,එසේ ම එවන් ස්ථානවල පරිසරය ආරක්ෂා කළ යුතු නැද්ද?,එසේ ම එවන් ස්ථානවල පරිසරය විනාශයට එරෙහිව හා එවන් ස්ථානවල ස්වභාවික පරිසරය ආරක්ෂාවට ක්‍රියාත්මක විය යුතු ද? නොයුතු ද? යන්නත් ගැන අදහසක් අප පැහැදිලි කරගත යුතු වන නිසාවෙනි.

පෞද්ගලික ඉඩම් වන සංරක්ෂණ ආඥා පනතින් ආරක්ෂාවට ලක්කළ නොහැක. එසේ වූ පමණින් පෞද්ගලික ඉඩමක තිබෙන පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීමට රජය වෙත පැවරෙන වගකීම අහෝසි නොවේ. පෞද්ගලික ඉඩමක තිබෙන වනාන්තරයක් හෝ වෙනත් පරිසර පද්ධතියක් ආරක්ෂා කිරීමට වෙනත් පනත්වල තිබෙන ප්‍රතිපාදන මීට කදිම නිදසුන් වේ.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කළ හැකි අභය භූමි සහ අලි කළමනාකරණ රක්ෂිත තුළ රජයේ මෙන් ම පෞද්ගලික ඉඩම් පවා තිබිය හැක. මේ සඳහා ගෙනහැර දැක්විය හැකි 1973 දී ප්‍රධාන වශයෙන් පෞද්ගලික ඉඩම් සහිත හොන්දූව දූපත අභය භූමියක් ලෙස ප්‍රකාශ කිරීමත්, ඉන් අනතුරුව ප්‍රකාශිත කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර අභය භූමිය ඇතුළු නිදසුන් රාශියකුත් තිබේ.

පෞද්ගලික ඉඩම් ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කළ හැකි දෙවන පනත නම් ජාතික පාරිසරික පනත වේ. එහි 24 ඇ වගන්තිය අනුව රජයේ මෙන් ම පෞද්ගලික ඉඩම් පවා ඇතුළත් වන සේ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ නම් කළ හැක.

මේ ප්‍රතිපාදනය යටතේ ප්‍රකාශිත වලව්වේවත්ත වතුරාණ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය මුළුමනින් ම පිහිටන්නේ, බුලත්සිංහල පිහිටි වලව්වේවත්ත නම් පෞද්ගලික ඉඩමක් තුළය.

මීළඟට සලකා බැලිය යුත්තේ, යම් ඉඩමක් පෞද්ගලික වූ පමණින් ඒ ගැන සැලකිලිමත් විය නොයුතු ද?, නොඑසේ නම් එවන් ඉඩමක වනාන්තරයක් ගැන හෝ වෙනත් පරිසර පද්ධතියක් ආරක්ෂා කිරීම ගැන කතා නොකළ යුතු ද? යන්නයි. මෑත කාලීනව, එනම් පසුගිය මාසය තුළින් ම පමණක් කදිම නිදසුන් දෙකක් ම හමුවීම විශේෂිතය.

මින් පළමු වැන්න නම් වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් නොබෝදා ප්‍රකාශයට පත්කළ Lagenandra wayamba නම් නව කෙටල විශේෂයයි. මෙයත් මා මුල් වරට දුටුවේ පෞද්ගලික ඉඩමකිනි. එම අවස්ථාවට එවකට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්තුමා වූ සිසිර කුමාර සේනාධීර මහතා මෙන් ම මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි අතර එම ගමනේ පරමාර්ථය වූයේ ද පෞද්ගලික ඉඩම් තුළ තිබෙන සුවිශේෂී පරිසර පද්ධති හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම වීමත් විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.

දෙවන සහ ඊටත් මෑත කාලීන සිද්ධිය නම් පසුගිය සතියේ ප්‍රකාශ වුණු කන පුස් වැල (Mucuna gigantea) නම් ශාකය වසර 172කට පසුව ශ්‍රී ලංකාවෙන් නැවත සොයා ගැනීම වේ. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මේ ශාකය සොයා ගනු ලැබ තිබෙන්නේත් පෞද්ගලික ඉඩමකිනි.

මීට වඩා අතීත නිදසුන් අතර වලව්වේවත්ත වතුරාණෙන් හමුවුණු හොරවැල් (Stemonoporus mooni) සහ සුවඳ ශාකත්,මාදුගඟේ ඕවිලාන දූපතේ පෞද්ගලික ඉඩමක තිබෙන රතැඹිල්ල ශාක (Luminetzera littoria) ගහනයත්, පෞද්ගලික ඉඩමක් තුළ තිබෙන සහ වඳ වී යාමට අත්‍යාසන්න තත්ත්වයේ තිබෙන, ආවේණික සහ කලක් වඳ වී ගොස් ඇති බවටත් සැක කළ Cryptocoryne bogneri නම් අතිඋඩයන් විශේෂය දැක්විය හැක.

මේ සියල්ල සම්පිණ්ඩනය කළ විට කිව හැකි වන්නේ:

  • පෞද්ගලික ඉඩම් සහිත ආරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත්කිරීමට ප්‍රතිපාදන තිබීමෙන් පෙන්නුම් කරන්නේ පෞද්ගලික ඉඩම් තුළ තිබෙන ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව හඳුනාගෙන ඊට අවශ්‍ය නීතිමය පසුබිමත් සකසා තිබෙන බවත්,
  • පෞද්ගලික ඉඩම් තුළ පමණක් ඇතැම් විශේෂවල පැවැත්ම රඳා පවතින බවත්,
  • පෞද්ගලික ඉඩම් තුළින් නව විශේෂ හමුවී තිබීම මෙන් ම එසේ අනාගතයේත් නව විශේෂ හමුවීමේ ඉඩකඩ තිබෙන බවත්,
  • ජෛව ක්‍රියා, පාරිසරික සේවා, ආවේණික විශේෂ, තර්ජිත විශේෂ සහ නව විශේෂ වැනි කරුණුවලදී වනාන්තර කුට්ටි සහිත හෝ සුවිශේෂී පරිසර පද්ධති සහිත හෝ සංවේදී පාරිසරික කලාපවලට ආසන්නයේ තිබෙන පෞද්ගලික ඉඩම් පිළිබඳවත් මනා සැලකිල්ලක් යොමු කිරීම වැදගත් බවත්‍,
  • ඒ පිළිබඳව අදහස් පළ කිරීමට අපට යුතුකමක් සහ වගකීමක් තිබෙන බවත් වේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන පුරවැසි යුතුකමකි.”

    – ආචාර්ය ජගත් ගුණවර්ධන –
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *