Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ නම් නොකිරීමට විරෝධය පල කරමින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.

ක්‍රිකට් ප්‍රේක්ෂකයින් යැයි හඳුන්වාගන්නා යම් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම විරෝධතාවය පල කරනු ලබන්නේ භානුක රාජපක්ෂව සංචිතයට ඇතුළත් කරන ලෙසට බල කරමින්.

එහිදී ඔවුන් දැනට ජාතික කණ්ඩායම සඳහා නම් කොට ඇති ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉලක්ක කරගිනිමින් විවිධ විවේචන ද ඉදිරිපත් කරනු ලබනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය ඊයේ (21) නිවේදනය කෙරුණු අතර, ඊට භානුක රාජපක්ෂ ඇතුළත් කර තිබුණේ නැහැ.

ඒ, ඔහුගේ සමේ මේද මට්ටම නියමිත ප්‍රමාණයට පවත්වා නොගැනීම හේතුවෙන්.

මේ අතර, එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ඇතුළත් නොවුනද, එය ඔහුගේ ක්‍රිකට් දිවියේ අවසානය නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (22) පාර්ලිමේන්තුවේ දී සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද තෝරා ගෙන ඇති භානුක රාජපක්ෂව එළඹෙන ඉන්දීය තරගාවලිය සදහා නම් නොකිරීමට පියවර ගෙන ඇත්තේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා මෙහිදී විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යරවයා කියා සිටියේ ඉන්දීය තරගාවලිය සදහා සංචිතය නම් කර ඇත්තේ තේරීම් කමිටුවේ හා පුහුණුකරුවන්ගේ නිර්දේශ මත බවයි.

භානුක රාජපක්ෂ කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. හොද අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්. ඔහුව තෝරා නොගැනීමට හේතු පිළිබදව ඔහුවත් දැනුවත් කරලා තියෙනවා සහ අමාත්‍යවරයා විදිහට මාවත් දැනුවත් කරා.
මේක ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නෙවෙයි. ඔහුට ඕනෙ තරම් වයස තියෙනවා, හැකියාව තියෙනවා, දක්ෂතාවය තියෙනවා. ඉතිං මම විශ්වාස කරනවා ඔහු හොද ආගමනයක් ක්‍රිකට්වලට දෙයි කියලා”

යනුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සදහන් කළා

ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 තරගය එළඹෙන 24 වනදා ලක්නව් හී දී ද, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග දෙක එළඹෙන 26 වනදා හා 27 වනදා ධරම්සාලා හී දී ද පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.