Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Image result for මාපිලාකලවානේ කුඩා බණ්ඩා පරම්පරාව සබරගමු නැටුම් සම්ප්‍රදායේ නමක් දිනුවෝ වෙති. රාජකීය සංග්‍රහ සත්කාර සහ නම්බුනාම පමණක් නොව නින්දගම් පවා ලැබූ ශ්‍රී විභූතිමත් අතීතයකට උරුමකම් කී ඔවුන් පාරම්පරික විෂ වෙදකම සම්බන්ධයෙන් ද කාලයක් පුරා තරමක ප්‍රසිද්ධියට පත්ව සිටියේය. කෙසේ නමුත් කුඩා බණ්ඩා පරම්පරාවේ අටවැනි යුගය උදාවෙත්දී ඔවුන් ගෙන් කිසිවකුත් පෙර කී අතීත ගෞරවයේ කොටස් කරුවන් බවට පත් නොවුණා පමණක් නොව පරම්පරාවම විනාශ මුඛයට ගියේය.

හත්වැනි කුඩා බණ්ඩාගේ වේලාපත්කඩය බැලූ තේගිරිස් ආතා අනාවැකි පළකැර තිබූ පරිද්දෙන්ම පුර අටවක දිනෙක හත්වැනි කුඩා බණ්ඩා විවාහ දිවියට ඇතුළත් වූ අතර අව අටවක පොහොය දිනෙක අටවැනි කුඩා බණ්ඩා මෙලොව එළිය දුටුවේය. අනාවැකියේ තෙවැනි වැකිය ද සැබෑ කරමින් ඉන් දින අටකට පසුව හත්වැනි කුඩා බණ්ඩාගේ භාර්‍යාව වූද අටවැනි කුඩා බණ්ඩාගේ මෑණියන් වූද යකන්දාවල මැණිකේ ලේ මාපිල් දෂ්ඨනයකට ගොදුරුව මිය ගියාය. තේගිරිස් ආතාගේ අනාවැකි ප්‍රකාශයේ ඔහු කී ලෙසම මෙතෙක් කරුණු සිදුවීම පිළිබඳව වික්ෂිප්ත බවට පත් වූ හත්වැනි කුඩා බණ්ඩා වඩාත් ත්‍රාසයට පත්වූයේ අනාවැකියේ තවත් වැකි දෙකක් මතුවට සම්බන්ධ වී තිබීම නිසාය.

තෙමසකට පසුව කලවානේ සිට ගාල්ලට ගිය හත්වැනි කුඩා බණ්ඩා මාපලගම ගුරුන්නාන්සේ හමුවී අටවැනි කුඩා බණ්ඩාගේ වේලාපත්කඩය සාදවා ගත්තේය. කිතුවසින් 1958 . 08. 08 දා පෙරවරු 08. පසුවී මිනිත්තු 08 ට අව අටවක තිථියෙන් බෙරණ නැකතේ 4 වැනි පාදයෙන් සඳුගේ හෝරාවෙන් සඳුගේ පංචම හෝරාවෙන් සෙනසුරු සූක්ෂ්ම හෝරාවෙන් සිංහ ලග්නයෙන් තුලා නවාම්ශයෙන් උපන් අටවැනි කුඩා බණ්ඩා චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය ද ජන්මයෙන්ම රැගෙන විත් තිබිණ. 4 වැන්න වූ වෘශ්චිකයේ 6 සහ 7 අධිපති සෙනසුරු තැන්පත්ව සිටියදී කුජගේ අෂ්ඨම දෘෂ්ටිය ද ඒ මත පතිතව තිබිණ.

‘ තමුන්නැහැ මේ හඳහන් සාස්ත්‍රේ ගැන දැන උගත් කෙනෙක් නිසා මට බෝම පාසුයි .. මේක තේරුං බේරුං කොරලා දෙන්න ..කලබල වුණත් එකයි ..නොවුණත් එකයි .. රාශි කේන්දරේ හතර මායිම නවග්‍රහයන්ගෙන් පාලුවට ගිය අව සතවක තිථිය ඇති දවසක අට වැන්නාධිපතිගේ හෝරාවක් උදාවෙලා තියෙන මොහොතක ජන්ම කේන්දරේ සෙනසුරුයි චන්ද්‍රයායි හිටි ආකාරයම නැවත ගෝචරයෙන් හට ගන්න අවස්ථාවක 12 වැන්නාධිපතිත් සම්බන්ධ වුණොත් මිස මේ දරුවගේ ජීවිතේට හානියක් නෑ ..’ යි මාපලගම ගුරුන්නාන්සේ හත්වැනි කුඩා බණ්ඩා අතට වේලාපත්කඩය දෙමින් කීවේය.

දෙයක් කෙළින්ම කීමට දුෂ්කරවූ අවස්ථාවලදී මාපලගම ගුරුන්නාන්සේ මෙවැනි කපටි ගැට සූත්තර කතන්දර කියන බැව් අසා තිබූ හෙයින් කුඩා බණ්ඩා ඊට ඉඩ නොදෙනු පිණිස ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලේ බලමින් මෙසේ ඇසුවේය.

‘ ගුරුන්නාන්සේට පෙනෙන හැටියට ඔය කියන්නා වාගේ ග්‍රහචාරයක් තව කොයි කාලෙකින් වගේද උදාවෙන්න තියෙන්නේ ..? ‘

‘ මිනිහෙක් සතෙක් විතරක් නෙවෙයි ආයිබෝං …මේ ලෝකෙට වැටෙන ගහක් ගලක් පවා ඒක උපදින වෙලාව වගේම නැතිවෙන වෙලාවත් කලිංම තීන්දු වෙලයි තියෙන්නේ … අපිට කරන්න තියෙන්නේ ඒ වෙලාව එනතුරු ජීවත්වෙන එක මිස නැතිවෙන වෙලාව හොය හොයා කාලය නාස්ති කොරන එක නෙවෙයි නේ … ‘ යි කී මාපලගම ගුරුන්නාන්සේ හුනස්නෙන් නැගිට සිටියේ කුඩා බණ්ඩා දැං පිටත්ව යා යුතු බැව් නොකියා කියමිනි.

එහෙත් කුඩා බණ්ඩාට ආපසු හිස් අතින් පිටත්ව යෑමට හිත හදාගත නොහැක. එහෙයින් ඔහු තේගිරිස් ආතා විසින් ඉත්තෑකූරු පෑනෙන් ලියන ලද කඩදාසිය මාපලගම ගුරුන්නාන්සේ අතට දුන්නේය. කහපැහැති පැල්ලම් මතුව දිරාපත්වෙමින් තිබු කඩදාසිය දෙස නෙත් යොමා මොහොතක් හිස් බැල්මෙන් ගත කළ මාපලගම ගුරුන්නාන්සේ ; ‘ මේක නං විප්‍රකාර ලියවිල්ලක් ආයිබෝං … කිසි තේරුමක් නෑ නොවැ … ‘ යි කියමින් එය ආපසු කුඩා බණ්ඩා වෙත දිගු කෙළේය.

‘ තේරුමක් නැතැයි කියලා කියන්නේ කොහොමෙයි ගුරුන්නාන්සේ … ඔය ලියලා තියෙන විදිහටම මං විවාහ වුණේ පුර අටවක දාක ….මගේ පුතා උපන්නේ අව අටවක දාක …ඒ වගේම එයින් අට දොහකට පස්සේ දරුවගේ මෑණියොත් නැති වුණා … ඒ සේරම ඔය ලියවිල්ලේ තියෙන විදිහටම සිද්ධ වෙලා තියෙද්දී ….’ යි කුඩා බණ්ඩා තවදුරටත් කියවමින් සිටියදී මාපලගම ගුරුන්නාන්සේ ඔහුට හරස් කැපුවේ උගුරේ ගැඹුරින්ම පාදාගත් රැල් බුරුල් සිනහවකිනි.

‘ දැං කෝ මේක ලියපු මිනිහා ජීවතුන් අතර ඉන්නවද .. ? ‘ යි ඔහු විධානාත්මක හඬින් ඇසුවේය.
‘ තේගිරිස් ආතා නැතිවෙලා දැං අවුරුදු දහ දොළොහකටත් වැඩියි මයේ හිතේ ..’ යි කුඩා බණ්ඩා කීය.
‘ ඔය තේගිරිස් ආතා නැතිවෙන්න කලියෙං ඒ මිනිහා තමන් අහවල් දවසේ මිය පරලොව යනවයි කියලා තමුන්නැහැලාට කියලා තිබුණද …හේමත් නැතිනං ..ඔය වගේ කඩදාසියක ලියලා තිබුණද … ? ‘
මෙවැනි අදහසක් මීට පෙර තමාගේ හිතට නොනැගුණේ ඇයි දැයි එසැණින්ම කුඩා බණ්ඩා තුළ කුකුසක් හටගත්තේය. ‘ නෑ එහෙම කතාවක් නං උන්දෑ කා එක්කවත් කියපු බවක් ගැන ආරංචියක් නෑ ..’
‘ හේනං තමුන් මැරෙන දවස කලින් දැන ගන්න බැරි මිනිහෙක් කෝමද ආයිබෝං ..අනිත් මිනිස්සු මැරෙන දවස් ගැන කියන්නේ කියලා හිතලා බලන්න වටිනව නේද …? ‘ යි කී මාපලගම ගුරුන්නාන්සේ විසින් කුඩා බණ්ඩාව නිහඬ කරවනු ලැබීය.

කිසිදු අතුරු ආන්තරාවකින් තොරව කාලය ගෙවී යන අතරතුර අටවැනි කුඩා බණ්ඩා වේගයෙන් උස්මහත්වී අටවැනි වියට පා තැබීමට ආසන්නව සිටියේය. ඔහුගේ අටවැනි ජන්ම දිනය උදාවීමට හෝරා විසිහතරක් ඉතිරිව තිබියදී පියා සහ පුතා එකම ඇදේ නිදිසුව ලබමින් සිටියදී පුත්‍රයා ලේ මාපිල් දෂ්ඨනයට ගොදුරු වූවේය. ඒ උග්‍ර විෂ කෙතරම් මාරාන්තිකවීද යත් දින හතක් සිහිසුන්ව සිටි හෙතෙම අටවැනි දිනයේදී මිය ගියේය. ඒ 1966.08 08 දා සඳුදා පෙරවරු 08.08 ටය. කුඩා දරුවාගේ ජීවිතය බේරා ගැනීම සදහා කිසියම් අවස්ථාවක් තිබූ බව පෙනී ගිය හෙයින් විෂ වෛද්‍යවරුන් තිදෙනකු සහ ගුප්ත ශාස්ත්‍රඥයන් තිදෙනකු සමඟ කුඩා බණ්ඩා පුරා සතියක් වෙහෙස වෙමින් සිටියේය. එහි අවසන් වෑයම වූයේ දරුවාට දෂ්ඨ කළ මාපිලා ලවාම විෂ ඇද ඉවත් කිරීමේ ගුප්ත ශාස්ත්‍රය ක්‍රියාවට නැගීමය.

සිහිසුන් දරුවා ගෙපිළේ බිම පැදුරක් මත බාවා තිබිණ. සර්පයා විසින් දෂ්ඨ කරන ලද තුවාල මුඛය කෙසෙල් කඳේ වක්‍රාකාර පීලී බඳු පතුරුවලින් ආවරණය කෙරිණි. දෙවනුව එකී කෙසෙල් පතුරු ආවරණය නිවෙසේ ගෙමිදුල හරහා එයින් පිටත සීමාව දක්වා දිගු කරන ලද අතර එය දිස් වූයේ දිගු බටයක් පරිද්දෙනි. බලි බිලි පූජා සමඟ මන්ත්‍ර ජප කිරීම ඇරැඹුණු අතර එයින් දැපනය වැටෙන මාපිලා තමා විසින් දෂ්ඨ කරන ලද ආතුරයා කරා නැවත පැමිණ විෂ හරණය කරන්නේ යැයි විශ්වාස කෙරිණි.

කෙසෙල් පතුරු මාර්ගය තැනුවේ ඌට එතුළින් කෙළින්ම ආතුරයා කරා පැමිණීමට සහ කිසිවකුටත් නොපෙනී ආපසු පිටත්ව යෑමට ඇති උමං මගක් ලෙසිනි.
මන්ත්‍ර ජප කරමින් සිටියදී 1966 අගෝස්තු 08 වැනිදා සදුදාට හිරු උදාවී හෝරා දෙකකුත් මිනිත්තු පහක් ගතවෙත්දී කෙසෙල් පතුරු උමං මග හදිසියේම සෙලවෙන්නට ගත්තේය. එතුළින් ප්‍රවේශ වූ සතා කෙමෙන් කෙමෙන් දරුවාගේ තුවාල මුඛය කරා ඇදී එන අයුරු සෙලවෙන සහ උස් පහත්වන කෙසෙල් පතුරුවලින් නිරීක්ෂණය කළ හැකිව තිබිණ.

ඒ සමගම මන්ත්‍ර ජප කිරීමද උච්චස්වරයකට තීව්‍ර විය. දරුවාගේ තුවාල මුඛය ආසන්නයෙන් ම වූ කෙසෙල් පතුර උස් පහත් වෙමින් චලනය වෙත්දී ඉහළට ඇදගත් හුස්ම පහළට යවා ගත නොහැකිව බය බිරාන්ත වූ කුඩා බණ්ඩා ඒ වනවිට මන්ත්‍ර ජප කරමින් සිටි තිදෙනා දෙස මාරුවෙන් මාරුවට ඇස් මාරු කළ අතර මන්තරාචාරයවරුන් තිදෙනාම තම දෙනෙත් බසින් එකම දෙයක් හෙවත් නිහඩව බලා සිටිනු යන පණිවිඩය නිවේදනය කෙළේය.

මෙතෙක් සෙලවෙමින් තිබූ කෙසෙල් පතුරු දැන් නිශ්චලය. කුඩා බණ්ඩාට කල්ප කාලාන්තරයක් මෙන් ඉතා දිගු වූ මිනිත්තු කිහිපයක් ගෙවී ගියේය. යාතුකම් හරියට කෙරුණේ නම් සතා ආ මග ඔස්සේම විෂ හරණයෙන් ඉක්බිති පිටත්ව යා යුතුවිය. ඌ එසේ පිටත්ව යත්දීත් කෙසෙල් පතුරු චලනය වීම සිදුවිය යුත්තකි. එහෙත් කාලය ගෙවී ගිය මුත් සතා පිටව යන බවට කිසිදු හැල හොල්මනක් නොවීය. මන්ත්‍ර ජප කරමින් සිටි තිදෙනා ඔවුනොවුන් අතර ක්ෂණයකින් ඇස් බැල්මෙන් පණිවිඩයක් හුවමාරු කැර ගත්තේය.

සිදුකළ යාතුකම් වැරදී ගිය බව පමණක් නොව දැන් තමන් සියලු දෙනාම අනපේක්ෂිත අවදානමකට මුහුණ දී සිටින බවත් ඔවුන්ට අවබෝධ විය. තවත් මොහොතකින් කෙසෙල් පතුරු උමග ඔස්සේ තව තවත් මාපිල්ලු ඇදී එනු ඇත. එහෙත් කුඩා බණ්ඩා මෙහි තනිකර දමා පැන දිව්වත් තමුන් කිසිවකුට ගැලවීමක් නැති බැව් පසක් කොට ගත් ඔවුන් දෛවයට ඉඩ දී පාෂාණීභූතව සිටියේය. තවදුරටත් බලා සිටීමේ ඉවසීම අවසන් කළ කුඩා බණ්ඩා තම දරුවා දෙසට නැඹුරුව ඔහුගේ සිරුර ආසන්නයේම වූ කෙසෙල් පතුර ඉහළට එසවූයේය.

තේගිරිස් ආතා විසින් ඉත්තෑකූරු තුඩක තීන්ත තවරා ලියා තිබූ කඩදාසියේ වූ අනාවැකිය අකුරක් නෑර එලෙසින්ම සැබෑ විය. ‘….හත්වැනි කුඩා බණ්ඩාගේ පුත් අටවැනි කුඩා බණ්ඩාගෙන් පරම්පරාව අවසන් වෙයි. පුතුගේ මරණයෙන් අට දිනකට පසු පියාද පුතු සමඟම යයි….’

( 1990 වසරේ මැයි මාසයේ එක් සති අන්තයක මගේ මිතුරකු ද ඔහුගේ පෙම්වතිය ද මා ද යන අනුවණ සහ ඊටත් වඩා හිතුවක්කාර ත්‍රී ඉඩියට් කණ්ඩායම කලවානට ගොස් එතැන් සිට වැද්දාගල සීමාවෙන් සිංහරාජයට ඇතුළු වූ අතර මින් පෙර කිසිදා දැක නොතිබුණු මුලාවැල්ල සොයා ගොස් එහි මුදුනේ සිට හාත්පස නැරඹීම අපේ අරමුණ විය. අප ගිය මග විසකුරු උරග විමානයකි. අත්වාරුව පිණිස ගසක අත්තක් හෝ වැල් පොටක් හෝ අල්ලා ගැනීමෙහිදී සතා හෝ වැල්පොට හෝ යන දෙක වරදවා පෙනී ගියේ නම් විෂ දළ පහරක් වරදින්නේ ද නැත.

උන්ගෙන් බේරුණත් කූඩලු ප්‍රහාරයෙන් නම් කිසිසේත් ගැලවීමට මගක් නොවීය. කෙසේ නමුත් අපි පැය තුන හතරක ගමනකින් පසුව මුලාවැල්ලට නැග්ගෙමු. ඇත්තෙන්ම ඒ නම් ආශ්චර්‍යමත් තැනෙකි. මුලාවැල්ලට නොගිය දෙපා සහ එහි සිට අවට නොබැලූ දෑසක් නම් කුමටද කියන්නාක් මෙන් ඒ එතරම්ම කුහුල උපදවන පිටසක්වළ අන් ග්‍රහලෝකයක් බඳු හැඟීම් ජනිත කරවයි. එදින රාත්‍රියේ මට ඇඟපත වෙවුලමින් උණ ගත්තේය.

කූඩැල්ලන් විසින් ලේ උරා බොනු ලැබූ තුවාල කැළැල් සිරුර පුරා පෙනේරයක් මෙන් විහිද තිබිණ. දින තුනක් කලවානේ ආගන්තුක නිවහනක යහනක පතබෑවී රෝගාතුරව සිටියදී මට සාත්තු සප්පායම් කළ පරිසර හිතකාමී රණතුංග අයියා කතන්දර කීමේ රුසියෙකි. ඔහුගේ සත්කාරයට වඩා මා ඉක්මණින් පණ ලැබූයේ ඒ කතන්දර ඇසීමෙනි. මෙතෙක් මා ඔබට කී කලවානේ කුඩා බණ්ඩාගේ කතාව ද එයින් එකකි. ඒ කතාවේ එදා මට නොපෙනී ගිය පැතිකඩක් දැන් ඉතා හොදින් පෙනෙයි. තේගිරිස් ආතා කී පරිදිම කුඩා බණ්ඩා පරම්පරාවේ අවසානය එලෙසම සිදු වූ බව සත්‍යයකි.

එසේ නම් මාපලගම ගුරුන්නාන්සේ එදා කියා ඇත්තේ බොරුවක් විය යුතුය. “.. රාශි කේන්දරේ හතර මායිම නවග්‍රහයන්ගෙන් පාලුවට ගිය අව සතවක තිථිය ඇති දවසක අට වැන්නාධිපතිගේ හෝරාවක් උදාවෙලා තියෙන මොහොතක ජන්ම කේන්දරේ සෙනසුරුයි චන්ද්‍රයායි හිටි ආකාරයම නැවත ගෝචරයෙන් හට ගන්න අවස්ථාවක 12 වැන්නාධිපතිත් සම්බන්ධ වුණොත් මිස මේ දරුවගේ ජීවිතේට හානියක් නෑ ..’ ” යි මාපලගම ගුරුන්නාන්සේ කියා තිබිණ.

කුඩා බණ්ඩාගේ දරුවාට මාපිලා දෂ්ඨ කෙළේ 1966 අගෝස්තු 08 දා ය. මේ දවසේ පැවති ග්‍රහචාරය විසින් ඉහත කී කොන්දේසි සියල්ලක්ම සපුරා තිබිණ. එහෙත් මට ඒ බව පෙනී ගියේ විසිහත් වසරකට පසුවය. )

-කේ. සී. ජේ. රත්නායක

Leave a Reply

Your email address will not be published.