Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය මේ වන විට ඉහළ ගොස් තිබීම හේතුවෙන් මුහුණු ආවරණ කිහිපයක් පැළඳීම සඳහා ඇතැම් පුද්ගලයන් යොමු වී සිටින ආකාරයක් දක්නට ලැබේ.

එලෙස මුහුණු ආවරණ කිහිපයක් එකවර පැළඳීම කෙතරම් දුරට සාර්ථක ද? යන්න පිළිබඳව මහනුවර ජාතික රෝහලේ, ක්ෂුද්‍ර ජීවවේදය සහ ආසාදන පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතාගෙන් විමසීමක් කළෙමු.

එහිදී වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, එලෙස මුහුණු ආවරණ කිහිපයක් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ය.

මාස්ක් එකක function 2ක් තියනවනේ. filtering function එක එකක් දැම්මත් ඒ filtering function එක එනවා, දෙකක් දැම්මත්  filtering function එක එනවා, තුනක් දැම්මත් එනවා. අපිට තියන ප්‍රශ්නේ fitting function කියන එක. ශල්‍ය මුව ආවරණ දෙක තුනක් දාල fitting function එක ගන්න බෑ. හිරවෙන ගතිය. ඒක කරන්න මාස්ක් එකෙන් බෑ. ඒක නිසා filtering function එක විතරයි ඒකෙ එන්නේ. එතකොට හොඳ quality disposabal මාස්ක් එකක් දැම්ම ම ඒ අවශ්‍ය කරන ආරක්ෂාව ලැබෙනවා,

යැයි වෛද්‍යවරයා පැහැදිලි කළේය.

ඔහු ප්‍රකාශ කළේ, එක් නිවැරදි ශල්‍ය මුහුණු ආවරණයක් පැළඳීම ප්‍රමාණවත් බවය.

මුහුණු ආවරණ කිහිපයක් දැමීම හේතුවෙන් පෙනහලුවලට බලපෑමක් එල්ල විය හැකි ද යන්න ගැන විමසූ විට වෛද්‍යවරයා පැවසුවේ, ඒ හරහා ශරීර සෞඛ්‍යයට බලපෑමක් වන බවට තවමත් සාක්ෂි සහිතව සොයා ගෙන නොමැති අතර මුහුණු ආවරණ කිහිපයක් දැමූ විට පටල කිහිපයක් හරහා වාතයට ගමන් කිරීමට සිදු වීම නිසා සමහර පුද්ගලයන්ට එය දරා ගැනීමට නොහැකි විය හැකි බව ය.

මේ අතර රෙදි වැනි වියා ඇති ද්‍රව්‍යවලින් සාදා ඇති මුහුණු ආවරණ දැමීම ඵලක් නොවන බව ද වෛද්‍යවරයා පැවසීය.

තව ද ඔහු පැවසුවේ, එවැනි මුහුණු ආවරණ හරහා වෛරසය අඩංගු බිඳිති ශරීරයට ඇතුළු විය හැකි නමුත් මුහුණු ආවරණයක් නොදා ම සිටිනවාට වඩා එවැනි මුහුණු ආවරණයක් හෝ පැළඳීම කළ යුතු බව ය.

නමුත් රෙදි වැනි වියන ලද අමුද්‍රව්‍ය යොදා සකසන ලද මුහුණු ආවරණයකට වඩා ශල්‍ය මුව ආවරණයක් පැළඳීම නිර්දේශ කරන බව වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මුහුණු ආවරණ
Image Source : Getty Images

පවතින වාතාවරණය හේතුවෙන් හැකි තාක් නිවසින් පිටතට යන වාර ගණන අවම කරන ලෙසත් නිවසින් බැහැරට යාමේ අවශ්‍යතා සහිත පුද්ගලයන් පමණක් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් බැහැරට ගොස් පැමිණීම සුදුසු බවත් වෛද්‍යවරයා පැවසීය.

අපි මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතාගෙන් ද විමසීමක් කළෙමු.

ඔහු ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා මෙලෙස මුහුණු ආවරණ කිහිපයක් පළඳින ලෙස පවසා නොමැති බව ය.

මුහුණු ආවරණ කිහිපයක් පැළඳීම හරහා සමහර පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි බව ද වෛද්‍යවරයා පැහැදිලි කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *