මියන්මාර අත්අඩංගුවේ පසු වූ ශ්රී ලාංකික ධීවරයින් 12 දෙනෙක්ට සිර දඬුවම් නියම කිරිමට එරට අධිකරණයක් අද නියම කළා.
දිය වැලකට අසුව ගසාගෙන යාම හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර මියන්මාර අත්අඩංගුවට පත් වූ ශ්රී ලාංකික ධීවරයින් පසුගිය මාර්තු මස 13 වැනිදා බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ තමන්ව බේරා ගන්නා ලෙසයි.
ත්රිකුණාමල ධීවර වරායෙන් සාගර කුමාර- 4 බහුදින ධීවර යාත්රාව ධීවරයින් 7 දෙනෙකු සමඟ මුහුදුගොස් තිබුණේ පසුගිය ජනවාරි 21 වැනිදායි.
මයෝමි බහුදින යාත්රාවද ත්රිකුණාමල වරායෙන් ධීවර කටයුතු සඳහා 5 දෙනෙකු සමඟ ඊට දින 6කට පසුව පිටත්ව ගියා.
කෙසේ වෙතත් මෙම ධීවර යාත්රා දෙකම දියවැලකට හසුව මියන්මාරය දෙසට ගසාගෙන ගොස් තිබෙනවා.
එහිදී මෙම ධීවර යත්රා දෙකෙහි සිටි ධීවරයින් 12 දෙනා මියන්මාර බලධාරින්ගේ අත්අඩංගුවට පත්ව ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් එම ධීවරයින් 12 දෙනා වරදකරුවන් කොට සිරගත කිරීමට අද දින මියන්මාරයේ අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව බෝට්ටු දෙක මෙහෙය වූ ස්කීපවරුන් දෙදෙනාට වසර පහමාර බැගින් වූ සිර දඬුවමක් සහ එරට මුදලින් චැට් ලක්ෂ 2ක බැගින් දඩ මුදල්ද නියම කරනු ලැබුවා.
බෝට්ටු දෙකෙහි සිටි අනෙක් ධීවරයින් දස දෙනාට වසර තුනහමාර බැගින් වූ සිර දඬුවම් හා චැට් 20,000 බැගින් වූ දඩ මුදල් නියමකර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ධීවරයින් බේරා ගැනීමට මහත් මෙහෙවරක් සිදු කළ හිටපු මියන්මාර තානාපතිවරයාගේ පෞද්ගලික ලේකම් නඳුන් තාරක මහතා පසුගියදා මෙම ධීවරයින්ට ආහාර ලබාදීමට ඉදිරිපත් වූ අවස්ථාවේ ඔවුන් මෙලෙස අදහස් පළකර තිබුණා.
මේ අතර, නඳුන් තාරක මහතා අප සමඟ සඳහන් කළේ බලධාරින් ඉල්ලීමක් කරන්නේ නම් මෙම ධීවරයින්ට අභියාචනයක් ඉදිරිපත් කර ඔවුන් මුදා ගැනීම සඳහා තමන්ට ඉදිරිපත් විය හැකි බවයි.