Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාල උද්‍යානයේ සතුනට හිංසා වන අයුරින් ජීප් රථ පැදවීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් නම දෙනකු අත්අඩංගුවට ගත් බව යාල උද්‍යාන භාරකර මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය.

එදින පැදවූ බව කියන ජීප් රථ හතක් මේ වන විට වනජීවී බාරයට ගෙන ඇත.

ඔවුන් නම දෙනා ජීප් රථ 6ක් සමඟ පොලිසියට පැමිණ බාර වීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ඔවුන් අද දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වන තෙක් යාල වනෝද්‍යානයේ මඟ පෙන්වන්නන් හා නිලධාරීන් පිරිසකගේ ද වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරියට ලබාදුන් උපදෙස් අනුවයි.

කෙසේ වෙතත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ සුළු නිලධාරීන් පිට වරද පටවා යාල වනෝද්‍යානය තුළ වූ සිදුවීම යට ගැසීමේ ක්‍රියාදාමයක් පවතින බවයි.

සංවේදී පරිසර කලාපයක් සහිත යාල ජාතික වනෝද්‍යානය තුල වනසතුන්ට හිරිහැර වන ලෙස සුඛෝපභෝගී ජීප් රථ හා කැබ් රථවලින් නොහික්මුණු ලෙස හැසිරුණු මෙම පිරිස පිළිබඳ මේ වනවිට සමාජය තුල දැඩි කතාබහක් මතුවී තිබෙනවා.

යාල වනෝද්‍යානයට යන ගමන අතරතුරද ඔවුන් මාර්ග නීති කඩ කර තිබුණේ අධිවේගී මාර්ගයේ වාහන නවතා රූගත කිරීමේ යෙදෙමින්.

යාල වනෝද්‍යානයට ඇතුළු වූ ජීප් රථ ගණන 35ක් වන අතර ජීප් රථවල සිටි පුද්ගලයන් ගණන 80ක් පමණ වුණා.

ජීප් රථවල සිටි පිරිස සමග ඇතුළු වු මඟපෙන්වන්නන් ගණන 07ක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අප කළ සොයාබැලීමේදී මෙම ජීප් රථ අතරින් කිහිපයක් කුලියාපිටියල කුරුණෑගල, වස්කඩුව ආදී ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ නම්වලින් ලියාපදිංචි කර ඇති බව අනාවරණය වුණා.

මේ අතර, වනෝද්‍යානය තුල නීති විරෝධී ලෙස හැසිරුනු මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් තිස්සමහාරාම අධිකරණයට මුලික කරුණු වාර්තා කළ බව යාල වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළා.

මෙම පිරිසකගේ අනිසි ක්‍රියාකාරකම් පිළිබඳ මඟපෙන්වන්නන්, පාලනාධිකාරිය දැනුවත් කර පිරිස පාලනය කිරීමට අපහසු බැවින් නියමිත වේලාවට පෙර ඔවුන් උද්‍යානයෙන් පිටතට ගෙන ඒමට මඟපෙන්වන්නන් කටයුතු කළ බවද විද්‍යාරත්න
මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මඟ පෙන්වන්න මගහැර ගිය එම පිරිස අතුරින් කොටසක් මෙලෙස නොමනා හැසිරීමක නිරතව ඇති බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.

මේ අතර සංවේදී පරිසර කලාපයක වන සතුන්ට හිංසාවන අයුරින් වාහන ධාවනය කරද්දී ඒ සම්බන්ධව කිසිදු මැදිහත්විමක් නොකළ මඟපෙන්වන්නන් හා අනෙකුත් නිලධාරීන් සම්බන්ධව ද විමර්ශනයක් ආරම්භ කරන ලෙස වනජීවී හා වන සම්පත්
සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යංශ ලේකම්වරිය ප්‍රකාශ කලේ ඒ අනුව අදාළ විමර්ශන අවසන් වනතෙක් සිද්ධියට සම්බන්ධ මඟපෙන්වන්න්ගේ හා නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බවයි.

මේ අතර යාල ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු වී වන සතුන්ට හිරිහැරවන පරිදි මෙලෙස ක්‍රියා කළ පුද්ගලයන්ට වසර 3ක් යන තෙක් ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයකට ඇතුලුවීමට නොහැකිවන පරිදි අසාදු ලේඛන ගත කිරීමටද පියවර
ගත් බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පෙන්වා දෙන්නේ අද වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගේ ප්‍රධානවත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ වන සතුන්ට බාධා වන ලෙස හැසිරුනු මෙම පිරිසේ ක්‍රියාකලාපය යටගැසීමේ උත්සාහයක් ද මේ වනවිට ක්‍රියාත්මක වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *