Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now
කලවම් වචන නැති අමු සිංහලෙන් ම නිතරම කතාබස් කළ දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘ රූපසිංහ රංචාගොඩ ඊටත් වඩා හොඳින් සුද්දාගේ ඉංගිරිසියෙන් කල්පනා කෙළේය. ඔහු ඉංග්‍රීසියෙන් හිතා සිංහලෙන් කතා කළ අතර කිසියම් උද්දාමයකට පත්වූ අවස්ථාවක ‘ ඕ.. වැරිගුඩ් ..වැරිගුඩ් .. ‘ කියා හෝ ‘.. ඕ ..කම්මෝන් ක්‍රේසි බෝයි ..’ යැයි ගොඩේ ඌරුවට ඉංග්‍රීසි වචන ශබ්ද කෙළේ කිසියම් සමච්චලයක් නැගෙන පරිද්දෙනි.
ඒ සමච්චලය කාට එල්ල වන්නේ ද යනු කිසිවකුටත් සිතාගත නොහැකි විය. ඔහුට අමතරව නියෝජ්‍ය කර්තෘ සහ උප කතුවරුන් දෙදෙනකු ද මාණ්ඩලික වාර්තාකරුවන් සිව් දෙනෙකු ගෙන් ද කර්තෘ මණ්ඩලය සමන්විත විය. ඊටත් අමතරව ප්‍රාදේශිය වාර්තාකරුවන් හැට හැත්තෑවක් පමණ රටේ නොයෙක් පළාත්වල විසිර වුන්නේය. ලංකා අටුලුගම මේ සියලු දෙනා අතර සිටි හැමතින්ම ලාබාලයා වූ නමුත් දැලි රැවුළු වැවීමටත් පෙර ඔහුට පුවත්පතේ උප කර්තෘ ධූරයක් ලැබුණේ රංචාගොඩ මහත්තයාගේ සමච්චල් සහගත ප්‍රසංශාවට දහදොළොස් වාරයක් පමණ ලක්වීම නිසා ම නොව ඒ වනවිට උප කර්තෘ ධූරය දරමින් සිටි දයාපාල බණ්ඩාර සීමාන්තික සෝමාරි චරිතයක් වූ නිසාය.
‘ මේ දයාපාල උන්නැහේ එක්ක පත්තර රස්සාව කොහොම වෙතත් ඇඟට පණ එන කතාබතාවක් වත් කරන්න පුළුවනෑ …. මිනිහා නිකං හැට පැන්න බාලිකාව වගේ කොයි වෙලේ බැලුවත් නැලවෙනවා මිස කිසිම සතියක් ගතියක් ඇතිව වැඩ කරන විදිහක් නං පේන්නේ නෑ .. ‘ යි දිනක් රංචාගොඩ මහත්තයා විසින් නියෝජ්‍ය කර්තෘ සෝමසිරි ඉලේපෙරුම අමතා කියන ලද අතර ‘ .. හොඳ කොල්ලෙක් නං ඉන්නව .. නිව්ස් ෆීචර්ස් සබිං ඔය ඕන වැඩකට පුරුදු කරලා ගන්න පුළුවං … හැබැයි වැඩේ කියන්නේ ඌ තාම ඉගෙන ගන්න වයසේ ඉන්නේ .. ‘ යි ඉලේපෙරුම වහා අලුත් යෝජනාවක් ඉදිරිපත් කෙළේ අවස්ථාවක් එනතුරු පුල පුලා බලා සිටියාක් වැනි හදිස්සියකිනි.
ඒ අනුව එතෙක් නිදහස් ලේඛකයකු ලෙස පත්තර කන්තෝරුවේ කරක් ගසමින් සිටි ජාතික උසස් අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයකු වූ ලංකා අටුලුගමට මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස පත්වීමක් ලැබුණේ කෙසේ හෝ වෘත්තීය උපාධිය සම්පූර්ණ කළ යුතුය යන කොන්දේසියට යටත්වය.
එතැන් සිට ලංකා අටුලුගම දවසින් වැඩිම කාලයක් ගත කෙළේ පාර්ලිමේන්තුවේ සිට මුඩුක්කු පාතාලය දක්වා වූ සෑම තැනෙකම පෙනී සිටින ප්‍රවෘත්ති දඩයක්කරුවකුගේ භූමිකාවට පිවිසෙමිනි. කිසිම දිනෙක උණුසුම් ප්‍රවෘත්තියක් නැතිව හිස් අතින් කන්තෝරුවට නොගිය ඔහු කාලයක් ගතවන විට බලවත් වෘත්තීය රහස් දෙකක් තනිවම ඉගෙන ගත්තේය.
‘මහ පාරේ දකින ඕනෑම සුළු නොවැදගත් සිදුවීමක් පසුපස ලොකු කතාවක් තිබේ ‘ යනු පළමු ස්වයං ගුරු මුෂ්ටිය විය. එවකට රජයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තිබුණේ කොළඹ කොටුවේ ය. අවපැහැගැන්වී තැනින් තැන නූල් මතු වූ සුදු වොයිල් සාරියක් ගත දවටා ගත් මහලු කාන්තාවක් මහපාර හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටී බිම ඇද වැටුණාය. ඒ වනවිට ඇය සිහි විසඥ වී සිටි අතර රථයේ රියදුරා තැතිගත් මුහුණින් යුතුව නිදහසට කරුණු කියන්නට විය.
‘ .. මං කල්පනාවෙන් ආව නිසා මේ මනුස්සයගේ ජීවීතේ බේරුණා ..එක පාරටම මගේ වාහනේ ඉස්සරහ මේ ගෑනු කෙනා කෙහෙල් ගහක් කැපුවා වගේ ඇද ගෙන වැටුණා .. ඒ මිස මගේ වාහනේ හැප්පුණේ නෑ … ‘ යි රියදුරා කීවේය. මිනිත්තු කිහිපයකට පසුව මහලු කත පියවි සිහියට පත්ව කෙඳිරිලි හඬින් සහ දෑසේ කඳුළු පුරවා ගෙන ඇගේ කතාව කියන්නට වූවාය. අවුරුදු 34 ක් ගුරු වෘත්තීයේ නිරතව වුන් ඇය තම විශ්‍රාම වැටුප සකස් කැර ගැනීම පිණිස තිස් හතළිස් වතාවක් කොළඹට පැමිණ තිබුණේ ඇගේ වාසගමේ වූ අකුරු මාරුවක් නිසා එය නිවරදි කරන තුරු විශ්‍රාම වැටුප් ලබාදිය නොහැකි යැයි නිලධාරින් දිගින් දිගටම පැවසීම නිසාය. මේ සිද්ධිය වූ දිනයේදී ඇය උදේ සහ දිවා ආහාරය පවා නැතිව හාමතේ සිටි බවත් හෙළි විය.
ඇගේ නමේ වාසගමේ අක්ෂර වැරදි ලෙස ලියා තිබුණේ තවත් රජයේ දෙපාර්තමේන්තුවක නිලධාරිනියකි. දැන් ඇය පසුගිය සති කිහිපය පුරා ඒ තැන සිට මේ තැනටත් මේ තැන සිට ඒ තැනටත් රස්තියාදු කැර යැවූවා මිස ඔවුන් කිසිවකු විසින් ඇගේ විශ්‍රාම වැටුප සකස් කැර දුන්නේ නැත. අවසානයේ ඇගේ ලිපි ගොනුව කොයි අත ගියා දැයි සොයාගත නොහැකිව අස්ථානගත විය.
කා. කා. සයකුට රුපියල් පණහක් දී ලිපි ගොනුව නැවත උඩට ගත් නමුත් වැඩේ නම් කෙරුණේ නැත. මේ සිද්ධිය ඔස්සේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව සෝදිසි කළ ලංකා අටුලුගමට මීටත් වඩා බොහෝ අකටයුතුකම් ද අකාර්යක්ෂමතාවන් ද අල්ලස් ගැනීම් ද පිළිබඳ තොරතුරු ලැබිණ. ඊට දින දෙක තුනකට පසුව ලංකා අටුලුගම විසින් ලියූ ප්‍රවෘත්තිය ආන්දෝලනාත්මක සිරස්තලයක් විය.
එයින් නොනැවතුණ හෙතෙම සවිස්තරාත්මක ප්‍රවෘත්ති විශේෂාංගයක් ද ලියා පළ කෙළේ රංචාගොඩ මහත්තයාගේ පූර්ණ අනුග්‍රහය සහ ‘ ඕ වැරි ගුඩ් වැරි ගුඩ් ‘ යන පැසසුම ද සමගිනි. නොවැදගත් සුළු සිදුවීමක් යැයි මතුපිටින් පෙනෙන ඕනෑම දෙයක් පසුපස ඇස් කන් කෙළින් කරවන පුවතක් තිබිය හැකි බැව් ඔහු ඒ සිද්ධියෙන් පසක් කොට ගත්තේය.
‘ අයිසේ අටුලුගම … මේ පත්තරකාරයා කියන්නේ කපුටෙක් වගේ …කපුටා රජගෙදර වහලෙත් මුඩුක්කුවේ අගු පිළෙත් ලගිනවා .. පන්සලේ බෝ මළුවේ වගේම ජරා කසළ ගොඩත් ..ඒ කොතනත් ඌට එකයි .. උපන් ගෙයි ඉවට තමා ඌ ඇදිලා යන්නේ .. අන්න අපි දෙයක් හොයත්දී කපුටෙක් වගේ වෙන්න ඕනේ .. ඒ විතරක් නොවෙයි මිනිස් සතාගේ කිට්ටුවෙන්ම ඉඳන් .. උගේ හැම රහසක්ම දන්න එකම සතා කපුටා විතරයි .. තමුසෙට කියන්න අයිසේ .. ඔය කපුටෙකුට නොදැනෙන්න ඇස් පිල්ලමක්වත් හොලවන්න බෑ .. අන්න ඒ වගේ කපුටෙක් වගේ වැඩ කළොත් තමුසෙටත් පත්තරකාරයෙක් වෙන්න බැරි නෑ ..’ යි රංචාගොඩ මහත්තයා කී වදන් අටුලුගම දේව වාක්‍යයක් මෙන් හිසට ගත්තේය.
ඔහු තමා විසින්ම පසක් කොට ගනු ලැබූ දෙවැනි ගුරු මුෂ්ටිය වූයේ නැති පුවතක් වුව ඕනෑ නම් මැවිය හැකි බවයි. ඔහු දිනක් පුස්තකාලයට ගොස් කිසිවකු විසින් අතවත් නොතබා තිබූ පසුගිය වර්ෂයක බන්ධනාගාර වාර්තාවක් කියවන්නට ගත්තේ එදින හරි හමන් පුවතක් සොයාගත නොහැකි වූ හෙයිනි. එකී වාර්තාව අනුව ඔහුට පෙනී ගියේ පසුගිය වර්ෂ කිහිපය තුළ බරපතළ ගණයේ අපරාධ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් අධි වේගයෙන් ඉහළ නගිමින් තිබෙන බවයි. මේ අනුව අපරාධ සිදුවන්නේ කර්මාන්තයක් පරිද්දෙන් නොවේදැයි ඔහුට හැඟීමක් ඇතිවිය.
බන්ධනාගාර වාර්තාව මූලාශ්‍රය කොට ගත් හෙතෙම ‘ ශ්‍රී ලංකාවේ අපරාධ කර්මාන්තය ‘ යනුවෙන් එතෙක් ජනවහරෙහි නොතිබූ සිරස්තලයක් ද හඳුන්වා දෙමින් පුවත් විශේෂාංග මාලාවක් ලියූ අතර ඒ ලිපි සියල්ලම පාහේ සමාජයේ දැඩි අවධානයට ලක්විය. ‘ අයිසේ අටුලුගම ..මේ පත්තරකාරයෝ ඉතිං ඔය හවසට අඩියක් පුඩියක් ගහනවා තමා .. නමුත් කිසිම දවසක නිව්ස් එකකට අදාළ පාර්ශ්වයත් එක්ක පිං අඩි ගහන්න යන්නෙපා .. තොරතුරු මිස ඔවුන්ගෙන් තේ කහට එකක්වත් නොබොනවා නං තමා වටින්නේ .. කාගේවත් ඉත්තෙක් වෙලා පෑන අතට ගන්නෙපා .. කපුටෙක් වගේ ඕනෑම තැනක ලැග්ගට කමක් නෑ ..ඌරෙක් වගේ ඕන දෙයක් කෑවත් කමක් නෑ .. නමුත් මොණරෙක් වගේ ඔලුව කෙලින් කරගත්ත පිල් විහිදා ගත්තු ආඩම්බරයක් පත්තරකාරයකුට තියෙන්නම ඕනෑ .. අන්නේකයි කියන්නේ තමුන්ට තොරතුරු දෙන වාහේ මොකා වුණත් උගේ අරක්කු වීදුරුවට වහල් වුණොත් අර මොණර ආඩම්බරකම කුජීත වෙනවා ..’ යි රංචාගොඩ මහත්තයා අටුලුගමට කීවේද කොළඹ 02 යූනියන් පෙදෙසේ අකුරු තුනක් ඇති අවන්හලක රසකතා කියමින් සිටියදීය.
සෑම සිකුරාදාකම හවසට රංචාගොඩ මහත්තයා විසින් අටුලුගමට රසමදිරා සමග රසවත් අවවාද අනුශාසනා ආදියෙන් සංග්‍රහ සත්කාර කරනු ලැබීය. දිනක් ඔවුන් දෙදෙනා එසේ කල්ගත කරමින් සිටියදී දයාපාල බණ්ඩාර ද අහම්බෙන් මෙන් එහි පැමිණියේය. රංචාගොඩ මහත්තයා විසින් අටුලුගමට විශේෂ ඇල්මක් දක්වනු ලැබීම දයාපාලගේ බලවත් නොරිස්සුමට ලක්ව තිබිණ. ‘ ආ ලොකු මහත්තයා .. කොතනද අටුලුගමත් එතන ..නේ ? ‘ යි ඇණුම් පදයක් කී දයාපාල මුහුණ පරොස් කැර ගත්තේය. ‘ ආ ඒකට මොකෝ දයා .. මට නං ළමයි ඉන්නව .. ඒත් අපේ නෝනට එහෙම එකක් නෑනේ ..ඉතිං මං මේකව දරු කමට හදා ගන්න හිතුවා ..’ යි රංචාගොඩ මහත්තයා සුපුරුදු සම්ච්චල් ස්වරයෙන් කීය.
‘ ආ ඒකත් හොදා තමා නමුත් ඉතිං දරු කමට හදා ගන්න යන පොඩි එකත් එක්ක අඩිපුඩි ගහන එක තමා ඉතිං ගැලපෙන්නේ නැත්තේ .. ‘ යි දයාපාල තරමක් දරුණු ප්‍රහාරයක් එල්ල කෙළේ ඔහු ඒ සදහා කාලයක් පුරා අවස්ථාවක් සොයමින් සිටි බවක් නොසගවමිනි. එහෙත් කිසිදු ප්‍රමාදයකින් තොරව රංචාගොඩ මහත්තයා ඔහුට සුපුරුදු උපහාසයෙන් යුතුව මෙසේ කීය. ‘ ඒ නිසාම තමා අයිසේ මං මේකව මෙතෙන්ට එක්කගෙන එන්නේ .. මොකද තාත්තා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා කියලා ..කියමනක් තියෙනව තමුසේ අහලා නැද්ද .. ?’ ඒ පිළිතුරෙන් කනේ පාරක් වැදුණු විට මෙන් එක්වරම ගැස්සී ගිය දයාපාල බයාදු සිනාවක් පළ කළා මිස කිසිවක් කීවේ නැත.
එවකට පැවති ආණ්ඩුව විසින් රුපියල් කෝටි ගණනක් වැය කොට ප්‍රංශ රටෙන් උපකරණ තුනක් ආනයනය කැර තිබුණේ විශාල කොමිස් කුට්ටියක් සහ අතයට ගනු දෙනුවක් නිසාය. භාවිතයෙන් යල් පැන ගිය මේ යන්ත්‍ර එකක්වත් පණ ගැන්වීම හෝ අලුත්වැඩියා කිරීම හෝ නොකළ හැකි බවට රංචාගොඩ මහත්තයාට ඉහළම තැනකින් විශ්වසනීය ඔත්තුවක් ලැබී තිබිණ. එදින උදෙන්ම අටුලුගම තම කාමරයට කැදවූ රංචාගොඩ මහත්තයා මෙසේ කීවේය.
‘ ..අයිසේ මරු නිව්ස් එකක් තියෙනවා .. හැබැයි මේක ලියන්න ඕනේ ‘යාන්” එකක් වගේ ..තාම බඩු තියෙන්නේ වරායේ ඒ නිසා මේක නිකං පත්තු කරලා දාමු..’ රංචාගොඩ මහත්තයා කී පරිදි ඕපාදූප ශෛලියෙන් කතාව ලියූ අටුලුගම එය නැවත ඔහුට පෙන්වනු ලැබූ අතර ‘ ආ මේ තියෙන්නේ ..හරි ඕක හොදා ..දයාපාලට දෙන්න පේජ් ත්‍රී ටොප් බොක්ස් දාන්න කියලා ‘ යි උපදෙස් ලැබුණෙන් අටුලුගම විසින් එය දයාපාල වෙත ගෙන යනු ලැබූ අතර ‘ මේ තමුසේ මේක ලිව්වා නං ..තමුසෙම දානවකො හොඩිම ..ආයේ මං මොකටද මේ ලබ්බට අත ගහන්නේ ..’ යි දයාපාල මුසුප්පු විය. ඔහු කන්තෝරුව දෙදරන්නට කළ බෙරිහන් දීමෙන් ලැජ්ජාවට පත් වූ අටුලුගම තමා ලියූ කොපිය අතට ගෙන එහි පිටුවේ අනෙක් පස ” ප්‍රංශ බඩු තුනට ම ලෙඩ ! ” යැයි ලියා එය දයාපාල අතට දුන්නේ ඒ විහිලුවෙන් ඔහුගේ කෝපය නිවී යනු ඇතැයි සිතමිනි.
අටුලුගමගේ කොපිය සහ ඔහු විහිලුවට ලියූ හෙඩිම දෙස විදුලි කොටන්නාක් බඳු ඇස්වලින් එරවූ දයාපාල කිසිවක් නොකියා එය අතට ගත්තේය. පුවත්පත මුද්‍රණයට යෑමට පෙර සෝදුපත් කියවීමෙන් පසු අනුමැතිය සදහා රංචාගොඩ මහත්තයා වෙත ගෙන යනු ලැබූ අතර එහි තුන්වැනි පිටුවේ දකුණු පස ඉහළ කෙළවරේ ලොකු අකුරින් / ප්‍රංශ බඩු තුනට ම ලෙඩ ! / යනුවෙන් අටුලුගමගේ කතාව අල්ලා තිබිණ. එය දුටු රංචාගොඩ මහත්තයාගේ ඇස්වල ද විදුලි කොටන්නට ගත්තේය. ‘ අයිසේ කවුද මේ හෙඩිම දැම්මේ ..තමුසේ නං වෙන්න බෑ ..? ‘ යි හෙතෙම දයාපාල දෙස දැඩි බැල්මක් හෙලුවේය. ‘ අනේ ඔව් මං නං නෙවෙයි …ඔන්න ලොකු මහත්තයා දාන්න කිව්වා කියලා අටුලුගම තමා ඕක ලිව්වේ .. ‘ යි කී දයාපාල අටුලුගමගේ කොපිය පෙන්වීය. මෙතැනින් පසු අටුලුගමගේ කෙරුම් හමාර වන්නේ යැයි දයාපාල සිතුවේය. එහෙත් ඔහු විමතියට පත් කරමින් රංචාගොඩ මහත්තයා ඔහුට සුපුරුදු සම්ච්චල් ස්වරයෙන් මෙසේ කීවේය.
‘ හරි කමක් නෑ ..ඕක ඔහොම්ම ම දානවකෝ .. මං උගන්නවන්නං කො ඕකට හොද පාඩමක් !’
පසුදින උදේ පාන්දරින් ම රංචාගොඩ මහත්තයා විසින් අටුලුගම තම කාමරයට කැදෙව්වේ බෙරිහන් දෙන ස්වරයෙනි. ‘ අයිසේ මං තමුසේ ගැන හිතුව විදිහ වැරදියි … තමුසේ කොලු තාත්තෙක් ..මිස මං හිතුව පොඩි එකා නෙවෙයි .. තව ටික දවසකින් තමුසේ මටත් කෙළවනවා .. කමක් නෑ ..අදින් පස්සේ තමුසේ මේ පත්තරේට නිව්ස් ලියන්න ඕනේ නෑ .. ‘ යි කී ඔහු අටුලුගමට කවරයක බහා ලූ ලිපියක් දුන්නේය.
එය තමාව සේවයෙන් නෙරපීමේ ලිපිය බවට අටුලුගමට කිසිදු සැකයක් නොවීය. කිසිවක් නොකී ඔහු පිටව යන අතරේ රංචාගොඩ මහත්තයා නැවත හඩ නැගුවේය. ‘ අයිසේ අටුලුගම තමුසේ මට ස්තූතියක්වත් නොකර නිකංම යන්නද හදන්නේ ..දැං මෙච්චර කල් මමනේ තමුසෙගෙ බිල් ගෙව්වේ අද හවස තමුසේ තමා මගේ බිල ගෙවන්න ඕනේ ..ඕක ඇරලා බලනවකෝ .” යි ඔහු කී නිසා අටුලගම ලිපිය විවෘත කෙළේය.
/’ වහාම ක්‍රියාත්මක වන පරිදී ඔබ උප කර්තෘ ධූරයට උසස් කොට ඇති බැව් සතුටින් දැනුම් දෙමු. ‘ / යනුවෙන් එහි සඳහන්ව තිබිණ.
‘ ප්‍රංස බඩු තුන මරු ඕයි ! ‘ කී රංචාගොඩ මහත්තයා කාමරය දෙදරන්නට සිනාසුණේය.
– කේ.සී.ජේ. රත්නායක
/ www.silumina/ vivara ,lk /

Leave a Reply

Your email address will not be published.