කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා රජය විසින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගෙවීම් සිදුකිරීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා සඳහා සහන කාලයක් ලබාදී තිබේ.
පොලිස්පතිවරයාගේ එකඟතාවය මත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මැයි මස 2 වනදා දක්වා එම සහන කාලය ලබා දී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මාර්තු මස පළමුවන දින හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා, අතිරේක දඩ මුදලකින් තොරව ඕනෑම තැපැල් හෝ උප තැපැල් කාර්යාලයක් වෙත ගෙවීමට අවස්ථාව ලබාදී තිබේ.
එමෙන්ම පෙබරවාරි මස 16 වනදා සිට පෙබරවාරි මස 29 වනදා දක්වා නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා, සම්මත අතිරේක දඩ ගාස්තුව සහිතව ගෙවීමට ද මැයි මස දෙවනදා දක්වා සහන කාලය ලබාදී ඇති බව සඳහන් වේ.
අදාල සහන කාලය මැයි මස දෙවනදා දක්වා පමණක් ලබාදී ඇති බැවින් එම කාලය තුළදී අදාල දඩ පත්‍රිකා ගෙවන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.
මේ අතර ඇඳිරි නිතීය අඛණ්ඩව බලපැවැත්වෙන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා එම සහන කාලය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කවල තැපැල් හෝ උප තැපැල් කාර්යාල විවෘත කිරීමෙන් පසුව දැනුම්දෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.