Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ වන විට ලංකාවේ කොවිඩ් සඳහා වෙන්කෙරුනු රෝහල්වල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම නිසා ඇතැම් රෝගීන්ට රෝහලක් ලැබෙන තෙක් නිවසේ සිටීමට සිදු වෙනවා.

මෙය අප රටේ වගේම බොහෝ රටවල් වල දක්නට ලැබෙන තත්ත්වයක්. මෙවැනි මොහොතක කොවිඩ් රෝගියෙකු නිවසේදී රැක බලාගන්නා ආකාරය පිළිබඳ බොහෝ දෙනකුට කුකුසක් තියෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ World Health Organization (WHO) ප්‍රචාරක අංශයේ විස්මිතා ගුප්තා ස්මිත් එහිම වෛද්‍ය නිලධාරිනියක වන අප්‍රේල් බාලර් සමග සිදු කරන සාකච්ඡාවක කොවිඩ් රෝගියෙකු නිවසේදී රැක බලාගන්නා ආකාරය පිළිබඳ වැදගත් කරුණු කාරනා රැසක් අනාවරණය වෙනවා.

ලංකාවේ අපි හැමෝටමත් මේ කරුණු වැදගත් වන නිසා එවැනි අවස්ථාවකදී අප ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න හිතුවා. පවුලේ කෙනෙකුට කොවිඩ් හැදිලා ගෙදර තියාගන්න කිව්වම ඔබ එකපාරටම ගොඩක් කලබල වෙන්න පුලුවන්. බය වෙන්න පුලුවන්. ඒත් පුලුවන් තරම් කලබල නොවී ඉන්න බලන්න. කලබල නොවී, සිහියෙන් සහ හැකි උපරිමයෙන් ඔබත් ආරක්ශා වෙලා රෝගියාවත් රැක බලාගන්න පහත උපදෙස් ඔබට උපකාරී වේවි.

  1. පලමුවෙන්ම සිදු කළ යුත්තේ රෝගියාව වෙනම කාමරයක තැබීමයි. එහෙම වෙන් කරන්න කාමර නැත්තං ගෙදර යම් නිශ්චිත ස්ථානයක් රෝගියා වෙනුවෙන් වෙන් කරන්න. සාරි/සරම්/ ඇද ඇතිරිලි වගේ දේවල් පාවිච්චි කරලා මේ ස්ථානය වෙන් කරගන්න ඔබට පුලුවන්.
  2. මේ වෙන් කරපු ස්ථානයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න ඕනි. ඒ නිසා ජනේලයක් අරින්න පුලුවන් තැනක් එයාට වෙන්කරන එක වැදගත්. හැමතිස්සෙම මේ ජනෙල් ඇරලා කාමරය ඇතුලට හොඳට හුළං එන විදිහට සකස් කරන්න පුලුවන් නං ගොඩක් හොඳයි.
  3. එතකොට මේ වෙන්කරපු කාමරයට හෝ ස්ථානයට යන්න පුලුවන් සහ රෝගියා සමඟ ගනුදෙනු කරන්න නිවසේ එක් සාමාජිකයෙකු තෝරගන්න. පවුලේ ඉන්න වැඩිහිටි, නිරෝගී (ඒ කියන්නේ නිදන්ගත රෝග නැති) කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක් තමයි මේකට වඩාත්ම සුදුසු.
    ඒත් පවුලේ එහෙම කෙනෙක් නැත්තං ඉන්න අයගෙන් හොඳටම ඉන්න කෙනා තෝරාගන්න. එතකොට මේ පුද්ගලයා විතරයි රෝගියාට සාත්තු සප්පායම් කරන්නේ. ඔහුව ආශ්‍රය කරන්නේ.
  4. ඒ වගේම රෝගියා කිසිම රෝග ලක්ෂණයක් නැතුව හිටියත් ඔහුට/ඇයට ගෙදර පුරා ඇවිදින්න තහනම්. බඩගිනි උන ගමන් කුස්සියට දුවන්නයි, ටීවී එකේ ආස වැඩසටහන් යනකොට සාලෙට දුවන්නයි බැහැ! එයා තමන්ට වෙන් කරපු ස්ථානයේ ඉන්න ඕනි.
    ගෙදර ඇතුලේ තැන් තැන් අල්ලන එක කරන්න බැහැ. හැම වෙලාවෙම පවුලේ අනිත් අයගෙන් අවම වශයෙන් මීටරයක දුරක් තියාගන්න ඕනි. අමාරුයි තමයි. ඒත් පවුලේ අනිත් අයව බේරගන්න ඕනි නම් මේක කරන්නම වෙනවා.
  5. එතකොට මේ රෝගියාට කෑම බීම ඇතුලු වෙනත් අවශ්‍ය දේවල් අරගෙන යන එක, එයාගේ සෞඛ්‍ය තත්ත්වය බලන එක අර අපි තෝරාගත් පවුලේ සාමාජිකයා විතරයි කරන්න ඕනි. රෝගියා හම්බවෙන්න යන හැම වෙලාවකම රෝගියා මෙන්ම සාත්තු කරන්නාද මුව ආවරණ නිසි පරිදි පැළඳ සිටීම අත්‍යාවශ්‍යයි.
  6. රෝගී සාත්තුවෙන් පසුව එලියට ගිය වහාම සෞඛ්‍යාරක්ෂිතව මුව ආවරණය ඉස්සරහින් අල්ලන්නේ නැතුව නූල් දෙකෙන් අල්ලලා ගලවලා වෙනම කසල බඳුනකට දාන්න. ඊට පස්සේ වෙන කිසිම දෙයක් අල්ලන්න කලින් අත් දෙක හොඳින් සබන් දාලා තත්පර විස්සක් සෝදගන්න.
  7. රෝගියාගේ භාවිතයට වෙනම පිඟන්, කෝප්ප, තුවා, ඇඳ ඇතිරිලි වෙන් කරන්න. ඒවා පාවිච්චි කරන හැම වාරයකදීම හොඳින් සබන් දාලා සෝදන්න. ඒ වගේම රෝගියාගේ කාමරය, නාන කාමරය වගේ තැන් ඔහු පාවිච්චි කරාට පස්සේ විෂබීජනාශකයක් දාලා හොඳින් සෝදන්න.
    නාන කාමරය රෝගියා මෙන්ම නිවසේ අනිත් අයත් පොදුවේ භාවිතා කරන වෙලාවක මේක විශේෂයෙන්ම වැදගත්. ඒ වගේ වෙලාවක රෝගියාට කලින් ගෙදර අය නාන කාමරය පාවිච්චි කරලා, අන්තිමට රෝගියා පාවිච්චි කරාට පස්සේ වහාම විෂබීජනාශකයක් දාලා සෝදන්න.
  8. රෝගියා වගේම නිවසේ අනිත් අය භාවිතා කරන මුව ආවරණ තැන තැන දමන්නේ නැතුව පරිස්සමින් කසල බඳුනකට එකතු කරලා පසුව පිලිස්සීම හෝ ගැඹුරට හෑරූ වලකට දමන්න පුලුවන්. රෝගියා භාවිතා කර ඉවතලන අනෙකුත් දේවල් ද එහෙමයි.
  9. රෝගියාව රෝහලකට ඇතුලු කරන තෙක් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබට නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න වෙනවා. මේකට පොතක් තියාගන්න. හැමදාම උදේට දිනේ දාලා රෝගියාගේ උණ පරීක්ෂා කරලා පොතේ ලියන්න. ඊට අමතරව රෝගියා හට මොනයම් හෝ අමාරුවක් තියනවා නම් ඒකත් සටහන් කරගන්න අදාල දිනයට යටින්.
    ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු ලක්ෂණ ලෙස දක්වන්නේ හුස්ම ගැනීමේ අපහසුව, ආයාසයකින් හුස්ම ගැනීම, පපුවේ වේදනාව, ක්ලාන්ත ගතිය, හිසේ කැරකිල්ල සහ විජලන ලක්ෂණයන් ය. රෝගියා දරුවෙකු නම්, ආහාර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ශේප කිරීම, වෙනදා දක්වන හැසිරීමට වඩා වෙනස් වීම, වික්ෂිප්තව සිටීම , විජලනය ලක්ෂණ ගැන ඔබ උනන්දු විය යුතුයි. මේ කිසියම් හෝ රෝග ලක්ෂණයක් රෝගියාට තියනවානම්, වහාම ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට හෝ වෛද්‍යවරයෙකුට දැනුම් දෙන්න.
  10. මෙම කාලය ඇතුලත රෝගියා හට හැකි තරම් පෝෂ්‍යදායක ආහාර, වතුර සහ නින්ද අත්‍යාවශ්‍යයි. එය ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියා කිරීමට උදව් කිරීම හරහා රෝගයට එරෙහිව සටන් කරන්න උදව් කරනවා. ඒ වගේම වැදගත් දෙයක් තමයි රෝගියා මොනයම් හෝ ලෙඩකට දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්නා කෙනෙක් නම්, ඒ බෙහෙත් නොකඩවා රෝගියාට ලබාදීම.
    විශේෂයෙන්ම අධික රුධිර පීඩනය දියවැඩියාව සහ පපුවේ අමාරුකම් වලට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ බෙහෙත් නියමිත පරිදි රෝගියාට ලබා දෙන්න. ඔබට හැකිනම් ඒ සායන හෝ වෛද්‍යවරුන් අමතා රෝගියාගේ තත්ත්වය විස්තර කරලා බෙහෙත් දෙන විදිහ අහගන්න.
  11. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඕනි මේ කාල සීමාව තුල නිවසට පිටින් පුද්ගලයන් ඇතුලු වීම සපුරා තහනම්. නිවසේ අයත් පලමුපෙළ ආශ්‍රිතයන් වෙන නිසා රැකියා ස්ථාන වලට ඒ බව දැනුම් දීලා නිවසේම රැඳෙන්න.

මේ හැමෝටම අමාරු කාලයක්. නමුත් පරිස්සම් උනොත් ගෙවාගන්න පුලුවන් කාලයක්. ඒ නිසා හොඳටම පරිස්සම් වෙන්න.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *