Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංක්‍රමණික පක්ෂීන් පිළිබද ව සිදු කරන ලද අධ්‍යයනයකින් මෙරටට ආවේණික පක්ෂියෙකු කිලෝමීටර් 19,360ක දුර ප්‍රමාණයක් පියාසර කර ඇති බවට සොයාගෙන තිබෙනවා.

මැණිකේ නමින් හඳුන්වන මෙම පක්ෂියාට ජී.පී.එස්. උපකරණයක් සවි කිරීම තුළිනුයි එම සත්වයා පියාසර කරන ලද දුර සහ ගමන් මාර්ගය අනාවරණ කරගෙන ඇත්තේ.

ඒ අනුව මැණිකේ නැමති මෙම පක්ෂියා මන්නාරමේ සිට යුරෝපය වෙත ගොස් ආක්ටික් සාගරය හරහා යළිත් මන්නාරමට පැමිණ තිබෙනවා.

අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද (satellite-tagged) හියුග්ලින් ගලුවියකු (Heuglin’s Gull) පූර්ණ සංක්‍රමණ චක්‍රයකින් පසු ශ්‍රී ලංකාවට නැවත ලඟා වීමත් සමගම, ශ්‍රී ලංකාවේ පක්ෂි සංක්‍රමණ අධ්‍යයනය ප්‍රධාන සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය පවසන්නේ.

ඔවුන් අනාවරණය කර තිබෙන පරිදි ශ්‍රී ලංකාවේ සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මෙම පක්ෂියාගේ උතුරු සංක්‍රමණික මාර්ගය හා නැවත ශ්‍රී ලංකාවට පැමිණුනු දකුණු සංක්‍රමණික මාර්ගය එක්ව ගත් කල කිලෝමීටර් විසිදහසකට ආසන්න වූ විස්මය ජනක චාරිකාවකි. හියුග්ලින් ගලුවියන්ට අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවිකිරීම (sattelite-tagging), 2021 අප්‍රේල් මාසයේදී මන්නාරම දූපතේ තලෙයිමන්නාරමේදී සිදු කර ඇත.

‘මැණිකේ’මුදා හැරීමෙන් පසු පුරා දින 20 ක් මන්නාරම් දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිට, අප්‍රේල් මස අග භාගයේ මන්නාරමෙන් පිටත් වී තිබේ. උතුරු රුසියාව බලා ගමන් ඇරඹු මැණිකේ පසුව යමල් අර්ධද්වීපයට ළඟා වී තිබේ. යමල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර, ඇය යූරල් කඳු තරණය කර යුරෝපියානු රුසියාවට ඇතුළු වු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය වැඩි දුරටත් සදහන් කරයි.

“ජුනි සිට අගෝස්තු දක්වා දිවෙන ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවෙහිදී අභිජනනයෙහි නිරත වූ මැණිකේ, අගෝස්තු අගභාගයේදී ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කළාය.” උත්තර ධ්‍රැවයේ තම ග්‍රීෂ්ම නිවහනෙන් පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 06 කට සහ දින 09 කට පසු පසුගිය නොවැම්බර් 04 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට නැවත ළඟා වී ඇත. ඇයගේ සුරක්ෂිත පැමිණීමත් සමඟ, අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද සිය පක්ෂීන් අතුරින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් අවසන් කළ ප්‍රථම පක්ෂියා බවට ඇය පත්වු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය වැඩි දුරටත් සදහන් කරයි.

“මැණිකේ තවත් සුවිශේෂී වනුයේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපියානු ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය සපයන බැවිනි.” මෙම වෙසෙස් චාරිකාව සඳහා ඇය ගෙවූ කාලය සහ දුර පහත පරිදි වේ.

satel

උතුරු සංක්‍රමණයේ දී ඇය, පුරා දින 35 (සති 05) ක් කිලෝමීටර 7880ක දුරක් ගමන් කළාය. උතුරු සංක්‍රමණය හා සසඳන කල මදක් මන්දගාමී වූ ඇයගේ දකුණු සංක්‍රමණය සඳහා දින 91 (සති 13) ක් ගත වූ අතර, මෙහි දී ඇය විසින් කිලෝමීටර 11,480 ක දුරක් සම්පූර්ණ කෙරිණි.

ඒ අයුරින්, මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා දිවුණු ඇයගේ සම්පූර්ණ චාරිකාව තුළදී ඇය විසින්, කිලෝමීටර් 19,360ක විස්මයජනක දුරක් ගමන් කර ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය සදහන් කරන්නේ හියුග්ලින් ගලුවියා යනු ශ්‍රී ලංකාවේ වයඹ සහ උතුරු දිග වෙරළබඩ ප්‍රදේශවල පමණක් දක්නට ලැබෙන මනහර, සාගරවාසී සංක්‍රමණික පක්ෂියෙක් බවයි.

“මොහු පෙනුමෙන් බොහෝ සමාන වූ විශේෂ පහකින් සමන්විත Lesser Back-backed Gull (Larus fuscus) යන ගලුවියන් කාණ්ඩයට අයත් එක් විශේෂයක් වේ.” මෙම පර්යේෂණය මෙහෙයවනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායමට මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න, මහාචාර්ය සරත් කොටගම සහ ආචාර්ය උපාධි අපේක්ෂිකා ගයෝමිණි පනාගොඩ යන අය ඇතුළත් වේ.

මෙම පර්යේෂණය සඳහා දායකත්වය Chinese Academy of Sciences, Palmyrah House (Pvt) Ltd, Vayu Resort සහ Wetlands International යන ආයතන විසින් ලබා දෙන ලද බව පක්ෂි විද්‍යා අධ්‍යයන කවය පවසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවද මෙම පර්යේෂණය සඳහා සහයෝගීතාවය සපයන රාජ්‍ය ආයතන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය වැඩි දුරටත් සදහන් කරයි. ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය වැඩි දුරටත් සදහන් කරයි.

05 6
03 5

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.