Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද (14) සමත් වුණා.

ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පරදා ලකුණු 37ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව යාපනය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.

ජැෆ්නා ස්ටැලියන්ස් ඉනිම ශක්තිමත් කළ ජොන්සන් චාර්ල්ස් පන්දු 56කින් ලකුණු 76ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු හයේ පහර 4ක් ද සමගින් ලකුණු 39ක් රැස් කළා.

Image Source : SLC

චාර්ල්ස් ලකුණු නොලබා සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුවක් කසුන් රාජිත අතින් ගිලිහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

වනිදු හසරංග ලකුණු 14ක් සහ චරිත් අසලංක ලකුණු 10ක් රැස් කළ නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2ක් දවා ගත් අතර, යාපනය ඉනිමේ දී දුවද්දී දැවී යාම් 4ක් ද වාර්තා වීම විශේෂත්වයක්.

ඒ අනුව ලකුණු 166ක ඉලක්කය සපුරාලීම සඳහා පිටියට පිවිසි දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පන්දුවාර 20 අවසන් වීමටත් මත්තෙන් සියල්ල දැවී ගියේ ලකුණු 128ක් ලබා සිටියදී.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ උපුල් තරංග පන්දු 39කදී ලකුණු 33ක් රැස් කල අතර නිරෝෂන් දික්වැල්ල පන්දු 18ට ලකුණු 29ක් රැස් කලා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 26ක් රැස් කලේ පන්දු 10කදී.

පන්දු යැවීමේ දී යළිත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත්තේ නිලකුණු පන්දුවාරයක් ද සමගින්.

Image Source : ICC

ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, චතුරංග ද සිල්වා, චරිත් අසලංක සහ ඔලිවර් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඔවුන්ගේ ඉනිමේ ද දුවද්දී දැවී යාම් 2ක් වාර්තා වූ අතර, එම අවස්ථා දෙකම උස්මාන් ශින්වාරි විසින් පන්දුව කෙළින්ම කඩුල්ලට වැදීමට සලස්වමින් දවා ගැනීම විශේෂත්වයක්.

Image Source : SLC

ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව තරඟ වදිනු ඇති.

එම තරගය එළඹෙන 16 වනදා රාත්‍රී 7ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරඟයේ වීරයා : ජොන්සන් චාල්ස්
දෙවන අවසන් පුර්ව තරඟය : ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග්
ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය

– සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර –

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *