Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 34ක ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ ආරම්භය පැය 3කින් පමණ ප්‍රමාද වුණා.

ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 5කට සීමා වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් නායක ශහිඩ් අෆ්රිඩි.

ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කලම්බු කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 5 නිමා කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 96ක් ලබා ගනිමින්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩ්‍රි රසල් පන්දු 19කින් නොදැවී ලකුණු 65ක් ලබා ගත් අතර, ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 14ක් පමණක් වැය කරමින්.

එය 20යි 20 පිටියේ වාර්තා වූ පස්වැනි වේගවත්ම අර්ධ ශතකය වීම ද විශේෂත්වයක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

Image source : SLC

පන්දු යැවිමේ දී එක් පන්දුවාරයක් යොමු කළ අසිත ප්‍රනාන්දු ලකුණු 26කට එක් කඩුල්ලක් බිද හෙලූ අතර, මොහොමඩ් අමීර් සිය පන්දුවාර 2 තුළ ලකුණු 46ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.

කලම්බු කණ්ඩායම ලබා ගත් ලකුණු 96 වාර්තා අතරට එක් වූයේ පන්දුවාර 5කට සීමා වූ තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායමට කඩුලු 2ක් දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 62ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 30ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී අශාන් ප්‍රියන්ජන් එක් ලකුණක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

මෙම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ යළි හිමි කර ගැනීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් වුණේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම මේ වන විට පරාජයට පත්ව තිබෙනවා.

COLOMBO KINGS 96/1 (5 Ov, RR: 19.2)
ඇන්ඩ්‍රි රසල් – පන්දු 19 කින් නොදැවී ලකුණු 65
ලෝරී එවන්ස් – පන්දු 10 කින් නොදැවී ලකුණු 21
අසිත ප්‍රනාන්දු 1/26
GALLE GLADIATORS 62/2  (5 Ov, RR: 12.4)
ධනුෂ්ක ගුණතිලක – පන්දු 15 කින් නොදැවී ලකුණු 30
ෂහිඩ් අෆ්රිඩි – පන්දු 6 කින් ලකුණු 12
අශාන් ප්‍රියංජන  1/1

තරගයේ වීරයා : ඇන්ඩ්‍රි රසල්

සිව්වන තරඟය : කළම්බෝ කිංග්ස් සහ ගෝල් ගෝල් ග්ලැඩියේටර්ස්

ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය

මේ අනුව ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දින තුනක් අවසන් වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුනා.

– ශාෂිංක විදුසර –

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *