Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන් සහ සංචාරකයින් සඳහා නව නිරෝධායන ක්‍රියාමාර්ග මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, මෙරටට පැමිණෙන මගීන් සහ සංචාරකයින් රටට ඇතුළුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහ ඊට අදාළ බලධාරීන්ගෙන් හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතු වේ.

එමෙන් ම, සියලු ම මගීන් සෞඛ්‍ය ස්වයං ප්‍රකාශන පෝරමය ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු ය.

නිර්දේශිත කොවිඩ-19 එන්නත් ලබා ගෙන සති දෙකක කාලයකට පසු මෙරටට පැමිණෙන මගීන් සහ සංචාරකයින් සඳහාත් එසේ නොවන මගීන් සහ සංචාරකයින් සඳහාත් කොටස් දෙකක් යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ නිකුත් කර ඇත.

  • එන්නත ලබා ගත් මගීන් සඳහා

නිර්දේශිත කොවිඩ-19 එන්නත් මාත්‍රා ලබා ගෙන සති දෙකක කාලයකට පසු මෙරටට පැමිණෙන මගීන් එන්නත ලබාගත් බවට වන සහතිකයේ මුල් පිටපත එහි සහතික කරන ලද තවත් පිටපතක් සමග ගුවන්තොටුපළ සෞඛ්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය. එය ඉංග්‍රීසි බසින් තිබිය යුතු අතර වෙනත් භාෂාවකින් ඇත්තේ නම් එහි ඉංග්‍රීසි පරිවර්තනය සහිත සහතික කරන ලද පිටපත ඉදිරිපත් කළ යුතුය.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ, අදාළ මගීන් රජයේ බලධාරීන් විසින් නිරෝධායනය වන හෝටලය හෝ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කරනු ලැබිය යුතු බවය.

එමෙන් ම, සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලත් රජයේ හෝ පෞද්ගලික අංශයේ රසායනාගාරයකින් එම මගීන් මෙරටට පැමිණ පැය 24ක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණයක් ද සිදු කළ යුතු ය.

එම ප්‍රතිඵල ලැබුණු පසු ඒ පිළිබඳව සඳහන් සහ ඒ සඳහා සාම්පල ලබාගත් දිනය සඳහන් නිරෝධායනය වන හෝටලය හෝ මධ්‍යස්ථානයේ සිටින බලධාරියෙකු විසින් නිකුත් කරන ලද ලියවිල්ලක් ඇතිව ඔවුන් එම ස්ථානවලින් නිදහස් කළ හැකි වේ.

පසුව නිරෝධායන මධ්‍යස්ථානවල සිට තම නිවෙස් වෙත යාමට තමන් විසින් ප්‍රවාහන පහසුකම් සපයා ගනු ලැබිය යුතු අතර රට තුළ සංචාරයේ යෙදෙන කාල සීමාව පුරා කොවිඩ්-19 වැළැක්වීමේ පියවර අනුගමනය කළ යුතු වේ.

තමන් නිවස වෙත පැමිණි වහා ම ඔවුන් තම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දුරකතනයෙන් හෝ ඊ මේල් මගින් දැනුවත් කළ යුතු අතර නිරෝධායනය මධ්‍යස්ථානයෙන් ලබාදුන් ලියවිල්ල ද ඉදිරිපත් කළ යුතුය.

තමන් රටට පැමිණි පළමු දවසේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අනුව, තමන් ආසාදිතයෙකු නොවන බව හා එන්නත ලබා ගත බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් තවදුරටත් නිරෝධායනය නොවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අදාළ මගියාගේ තොරතුරු ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයා වෙත සහ වසංගත රෝග විද්‍යා ඒකකය වෙත ලබා දිය යුතු වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ, සියලු මගීන් මෙරටට පැමිණ දින හතකට පසු නැවත වතාවක් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය විය යුතු බවය.

එම මගීන් උණ හෝ කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් හැකි ඉක්මනින් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කළ යුතු වේ.

සිදු කරන සියලු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල පිළිබඳ ඒවා ලද සැණින් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කළ යුතු අතර ඔහු ඒ පිළිබඳව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයා දැනුවත් කළ යුතු වේ.

යම් හෙයකින් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව තමන් ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් ඒ පිළිබඳව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කළ යුතු අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කර ඇති ප්‍රතිකාර ක්‍රමවේදය අනුගමනය කළ යුතුය.

  • එන්නත ලබා නොගත් මගීන් සඳහා

නිර්දේශිත කොවිඩ්-19 එන්නත් ලබා නොගත්, නිර්දේශිත මාත්‍රා ගණන ලබා නොගත් හෝ එන්නත ලබා ගෙන සති දෙකක කාලයක් සම්පූර්ණවීමට පෙර මෙරටට පැමිණන මගීන් සඳහා ද සෞඛ්‍ය අමාත්‍යංශය නිරෝධායන ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර තිබේ.

ඒ අනුව, හෝටල්වල (තනිව හෝ පවුලේ සාමාජිකයින් සමග) නිරෝධායනය වන මගීන් මෙරටට පැමිණි පළමු දිනයේ හා හත් වන දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය විය යුතු අතර එම වාර්තා අනුව තමන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වේ නම් හත්වන දිනයේදී ඔවුන්ට එම හෝටල්වලින් නික්ම යා හැකි වේ.

ඔවුන් ද නැවත යාම සඳහා පෞද්ගලිකව ප්‍රවාහන පහසුකම් සලසා ගත යුතු අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ ද අනුගමනය කළ යුතු වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ, එම මගීන්ට ප්‍රවාහන පහසුකම් සපයන රියැදුරන් ද කොවිඩ්-19 වැළැක්වීමේ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවය.

ඔවුන් ද පෙර සඳහන් කළ පරිදි නිවෙස් වෙත පැමිණි වහා ම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පී.සී.ආර්. වාර්තා හා අදාළ ලියකියවිලි ද ඉදිරිපත් කර දැනුවත් කළ යුතු වේ.

එතැන් සිට ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ ඉතිරි දින 7ක කාලයක් නිවසේ අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.

උණ හෝ කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් හැකි ඉක්මනින් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කළ යුතු වේ.

නිරෝධායන මධ්‍යස්ථානවල (හවුලේ නිරෝධායනය වූ) නිරෝධායනය වන මගීන් මෙරටට පැමිණි පළමු දිනයේ සහ 10 වන දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය විය යුතුය.

එම වාර්තා අනුව තමන් ආසාදිතයෙකු නොවේ නම්, 10 වන දිනයේදී ඔවුන්ට එම මධ්‍යස්ථානවලින් නික්ම යා හැකි වේ.

නැවත නිවෙස් වෙත යාමේදී සහ නිවෙස්වලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පෙර සඳහන් කළ පරිදි වන අතර ඔවුන් ද ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ දින 4ක් අනිවාර්යයෙන් නිවෙස් නිරෝධායනයට යොමු විය යුතු ය.

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ද කොටස් දෙකක් යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය නිරෝධායන ක්‍රියාමාර්ග නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන්, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයෙන් අවසර ගත යුතු අතර ශ්‍රී ලංකා රජයෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට ඔවුන් බැඳී සිටිය යුතු වේ.

  • එන්නත ලබා ගත් සංචාරකයින් සඳහා

ඒ අනුව, නිර්දේශිත කොවිඩ-19 එන්නත් මාත්‍රා ලබා ගෙන සති දෙකක කාලයකට පසු මෙරටට පැමිණෙන සංචාරකයින් එන්නත ලබාගත් බවට වන සහතිකයේ මුල් පිටපත එහි සහතික කරන ලද තවත් පිටපතක් සමග ගුවන්තොටුපළ සෞඛ්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය. එය ඉංග්‍රීසි බසින් තිබිය යුතු අතර වෙනත් භාෂාවකින් ඇත්තේ නම් එහි ඉංග්‍රීසි පරිවර්තනය සහිත සහතික කරන ලද පිටපත ඉදිරිපත් කළ යුතුය.

ඔවුන් නිරෝධායනය විය යුත්තේ සංචාරකයින් නිරෝධායනය සඳහා සහතික කරන ලද හෝටල්වලය.

මෙරටට පැමිණි පළමු දිනයේ ම පැය 24ක් ඇතුළත සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලත් පෞද්ගලික රසායනාගාරයකින් සංචාරකයින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගත යුතු අතර එම පරීක්ෂණ සඳහා සාම්පල අදාළ පෞද්ගලික රසායනාගාරයේ කණ්ඩායම සංචාරකයින් රඳවා ඇති හෝටලයේදී ම ලබා ගත යුතු වේ.

හෝටල් බලධාරීන්, සංචාරකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ප්‍රතිඵලවල පිටපත් සහ අදාළ තොරතුරු සංචාරකයින් පැමිණි පළමු දිනයේදී ම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දිය යුතුය.

සංචාරකයින් තමන් එන්නත ලබාගත් බවට වන සහතිකයේ මුල් පිටපත එහි සහතික කරන ලද ඉංග්‍රීසි පිටපතක් සමග හෝටල් බලධාරීන්ට ඉදිරිපත් කළ යුතු අතර එහි පිටපතක් හෝටල් බලධාරීන් තබා ගත යුතු වේ.

සංචාරකයින් පළමු දිනයේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වේ ප්‍රතිඵල අනුව ආසාදිතයෙකු නොවන බවට තහවුරු වේ නම්, දින 7ක් ඔවුන් රැඳී සිටින හොටලයේ ම සිට අවසර ලත් ස්ථාන වෙත ජෛව ආරක්ෂිත බුබුලක තුළ ගමන් කළ හැකි වේ.

කෙසේ වෙතත්, එම සංචාරකයින් ද උණ හෝ කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් හැකි ඉක්මනින් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කළ යුතු වේ.

එම දින 7 අවසානයේ නැවතත් පී.සී.ආර්. පරීක්ෂණය සිදු කළ යුතු අතර ඉන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වේ නම් එම සංචාරකයින්ට හොටලයෙන් නික්ම යා හැකි අතර ඔවුන්ට ඔවුන් පැමිණි සංචාරක කටයුතු වල නිරත විය හැකි ය.

යම් හෙයකින් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම සංචාරකයින් ආසාදිතයෙකු බවට තහවුරු වුවහොත් ඒ පිළිබඳව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කළ යුතු අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කර ඇති ප්‍රතිකාර ක්‍රමවේදය අනුගමනය කළ යුතුය.

  • එන්නත ලබා නොගත් සංචාරකයින් සඳහා

නිර්දේශිත කොවිඩ්-19 එන්නත් ලබා නොගත්, නිර්දේශිත මාත්‍රා ගණන ලබා නොගත් හෝ එන්නත ලබා ගෙන සති දෙකක කාලයක් සම්පූර්ණවීමට පෙර මෙරටට පැමිණන සංචාරකයින් සඳහා ද සෞඛ්‍ය අමාත්‍යංශය නිරෝධායන ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර තිබේ.

සහතික කරන ලද හෝටල්වල එම සංචාරකයින් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතු ය.

ඔවුන් ද පැමිණි මුල් දිනයේ ම පෙර සඳහන් කළ පරිදි පී.සී.ආර් පරීක්ෂණ සඳහා භාජනය විය යුතු වේ.

යම් හෙයකින් එම සංචාරකයින් දින 14කට අඩු කාලයක් තුළ මෙරටින් පිටවනවා නම්, ඔවුන් පිටත්වන දිනය අනුව දෙවන පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරගත යුතුය.

එමෙන් ම, යම් සංචාරකයෙක් පැය 96කට අඩු කාලයක් මෙරට රැඳී සිටී නම් පිටව යාමේදී නැවත පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු නොකළ යුතු අතර අදාළ ගුවන් සමගම හෝ රට ඉල්ලීමක් කරනවා නම් පමණක් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගත යුතු වේ.

දින 14ක් හෝ ඊට වැඩි කාලයක් රැඳී සිටිනවා නම් දෙවන පී.සී.ආර්. පරීක්ෂණය මෙරටට පැමිණ 11 වන දවසේ සිට 14 වන දිනය දක්වා අතර කාලයේදී සිදු කළ යුතුය.

එහි ප්‍රතිඵල අනුව ආසාදිතයෙකු නොවේ නම්, ජෛව ආරක්‍ෂිත බුබුළක අනුමත ස්ථානවෙත පමණක් ඔවුන්ට සංචාරය කළ හැකි වේ.

දින 14 අවසන් වන තුරු සංචාරකයින් තමන් රැඳී සිටින හෝටලය වෙනස් නොකළ යුතු අතර දින 14ට පසු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව අනුව ආසාදිතයෙකු නොවේ නම්, ඔවුන්ට ඉන් නික්ම යාමට අවසර ලැබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *