Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වෙසක් භෞතිකව සැමරීමට බෞද්ධයින්ට හැකියාව නොලැබුණු තුන්වන අවුරුද්ද මෙවර උදා වෙනවා. 2019 දී පාස්කු ප්‍රහාරය නිසාත්, 2020 දී කොවිඩ් වසංගතය නිසාත් වෙසක් උත්සවශ්‍රීය අහිමි වුණා.

2021 දී වඩාත් දරුණු ලෙස වසංගතය පැතිර යන්නේ අවුරුදු කෑමේ දී අනුගමනය කළ අනාරක්ෂිත පිළිවෙතට හිලව්වටත් එක්ක යි. මේ නිසා යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවයත් අවලංගු කර තිබෙනවා. නිවසේ සිටම වෙසක් සැමරීමට සිදුවන කාලෙක පුරාණයේ වෙසක් සැමරූ අන්දම ගැන විමසා බැලීම සුදුසු බව අපට හැඟුණා.

තෙමඟුල සිදුවූ වෙසක්

බුදු තෙමඟුල – එම්. සාර්ලිස්ගේ චිත්‍රයක්-localguideconnect.com

සංස්‌කෘත භාෂාවෙන් “වෛශාඛ” යයි හඳුන්වන, පාලි භාෂාවෙන් “වෙසාඛ” බවට පත්ව ඇති වචනය සිංහල භාෂාවට පැමිණෙන විට “වෙසක්‌” යනුවෙන් හඳුන්වනවා.

බුදුන් වහන්සේගේ තෙමඟුල ලෙස සලකන සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වට ලැබීම, හා බුදුරජුන්ගේ මහා පරිනිර්වාණය සිහිකිරීම සඳහා තමයි අනාදිමත් කාලයක සිට වෙසක් පවත්වන්නේ.

බුද්ධත්වය ලැබිම – බොරොබුදුර් කැටයමක් pinrest.com

බුද්ධකාලීන භාරතයේ මෙවන් උත්සවයක්‌ පිළිබඳව සඳහනක්‌ හමුවන්නේ නැහැ. බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ දෙකක්‌ ගතවූ පසු මගධයේ රජකම් කළ ධර්මාශෝක රජතුමා වෙසක්‌ දිනය වෙනුවෙන් විශාල  උත්සවයක්‌ සිදුකළ බව සිව්වන අශෝක ශිලා ලේඛනයේ සඳහන් කර තිබෙනවා. 

ක්‍රි. ව. 5 වන සියවසේ දී බෞද්ධ ධර්ම කෘති සොයා ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමිගේ දේශාටන වාර්තාවල ද දැක්‌වෙන්නේ භාරතයේ අවුරුද්දක්‌ පාසා වර්ෂයේ දෙවෙනි මස අටවන දා පිළිම පෙරහැරක්‌ පවත්වා ඇති බව යි.

ඉන්දියානු ලිත් ක්‍රමයට අනුව වර්ෂයේ දෙවෙනි මාසය යනු වෙසක්‌ මාසයයි.  එබැවින් නමක්‌ සඳහන් නොකළත් පාහියන් සඳහන් කරන්නේ වෙසක්‌ උළෙලක්‌ විය හැකි බවට විද්වතුන් අදහස් පළ කර සිටිනවා.

ඉතිහාස පොතෙන්

ගැමුණු රජු තැනූ රුවන්වැලි සෑය – lankapura.com

අපේ රටේ වෙසක් ගැන මුලින්ම සඳහනක් හමුවන්නේ ක්‍රි. පූ. පළමු සියවසේ දී දුටුගැමුණු රජ කාලයේ දී යි. 

ඒ රජු වෙසක් උත්සව 27ක් පැවැත්වූ බව මහාවංශයේ 32 වන පරිච්ජේදයේ සඳහන්කර තිබෙනවා. “මහාවේශාඛ පූජා” යන වචනයට අනුව මහා වෙසක් උත්සව උත්කර්ෂයෙන් රජ කාලයේ පැවැත්වූ බව යි පැහැදිලි වන්නේ.

භාතිකාභය රජු (ක්‍රි. ව. 38-66) වෙසක්‌ මංගල්‍ය 28ක්‌ ද, වසභ රජු (ක්‍රි. ව. 127-171) ඔටුනු පැළඳූ වර්ෂයේ සිට පිළිවෙලින් වෙසක් උත්සව 44ක්‌ ද පැවැත්වූ බව මහාවංශයේ සඳහන් වෙනවා.

වෝහාරතිස්ස රජතුමා (ක්‍රි. ව. 269-291) වෙසක් උත්සවය පවත්වා දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කළ බව මහා වංශයේ 36 වන පරිච්ජේදයේ දැක්වෙන කරුණක්.

ගෝඨාභය හා ජෙට්ඨතිස්ස රජතුමා වෙසක් උත්සව පැවැත්වූ ආකාරයත් මහා වංශයේ 36 වන පරිච්ජේදයේම විස්තර කෙරෙනවා.

ජෙට්‌ඨතිස්‌ස රජු (ක්‍රි. ව. 323-333) විශාල වෙසක්‌ මංගල්‍යයක්‌ පවත්වා භික්‍ෂූන් තිස්‌ දහසක්‌ පමණ දෙනාට සිවුරු පිරිකර පූජාකර තිබෙනවා.

ඉන්පසු කුමාර ධාතුසේන (ක්‍රි. ව. 513-522), මුගලන් (ක්‍රි.ව. 537-56), අග්බෝ (ක්‍රි. ව. 601- 611 ආදී රජවරු ද වෙසක් උත්සව පැවැත්වූ නරපතියන් අතර සිටිනවා. 

පොළොන්නරු යුගය 

රුවන්වැලි සෑ බිමේ සිල්ගත් උපාසිකාවන් – localguideconnect.com

පොළොන්නරු කාලෙ වන විට වෙසක් උත්සවය ආගමික උත්සව දිනයක් පමණක් නොව, ජාතික උත්සව දිනයක් බවට ද පත්ව ඇති බව පෙනෙනවා.

පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ දී මේ තත්ත්වය ඇති වී තිබුණු බවට සාධක පවතිනවා. එදා වෙසක් දින සිල් සමාදන් වීම, දන්සල් පැවැත්වීම, ආලෝක පූජා සංවිධානය, නිවෙස්වල පවා සැරැසිලි කොට පහන් දල්වා අලෝක පූජා පැවැත්වීම සිදුකර තිබෙනවා.

දඹදෙණි යුගයේ ලියැවුණු පූජාවලියේ සඳහන් වන්නේ බුද්ධ මංගල්‍යය ප්‍රීති උත්සවයක් ලෙස පැවැත්වූ බව යි.

යටත් විජිත කාලේ

ඕල්කට්තුමා සමරමින් නිකුත් කළ මුද්දරයක් – dremestime.com

ක්‍රි. ව. 1770 දී මුහුදුබඩ ප්‍රදේශ ඕලන්දයන්  පාලනය කළ කාලයේ ඕලන්ද ආණ්ඩුකාර විලියම් ඉමාම් පෑල්ක් වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවට ප්‍රකාශ කළා. ඉන්පසු වෙසක් සැමරීමට බාධා වැටුණා.  

ඉංග්‍රීසින් මෙරට පාලනය කළ 19 වැනි සියවසේ අගභාගය වන විට මෙරට බෞද්ධ පුනර්ජීවනයක පෙර නිමිති දැකගත හැකි වුණා. හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධම්මාරාම, මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි  භික්ෂූන්වහන්සේ  බෞද්ධ පුනරුද වැඩසටහන් ආරම්භ කළා.  

1873 පැවැත්වූ පානදුරා වාදය ඇතුළු ආගමික කතිකා නිසා පිටරටවලට පවා බෞද්ධාගම ගැන අදහස් පැතිර ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස 1880 මැයි 17 දින කර්නල් ස්ටීල් ඕල්කොට් තුමා ලංකාවට පැමිණියා.

වෙසක් නිවාඩුව

බෞද්ධ කොඩි රැගත් පෙරහරක් – dremestime.com

මේ වන විට බෞද්ධයන්ට පෙරහර ආදිය පැවැත්වීමට ඉඩක් තිබුණේ නැහැ.

පෙරහරක් කිරීමට රජයෙන් අවසර ගත යුතු වුණා. මෙසේ අවසර ලබාගෙන බොරැල්ලේ සිට කොටහේනේ දීපදුත්තමාරාමයට ගිය පෙරහරකට 1883 මාර්තු 25 දින එක්තරා පිරිසක් පහර දීම නිසා කීප දෙනකුට තුවාල සිදු වුණා.

මේ අසාධාරණයට එරෙහිව නැගී සිටි බෞද්ධ නායකයෝ යටත්විජිත බාර ලේකම් හරහා එංගලන්තයේ මහ රැජිනට මෙම පුවත සැළ කිරීමට කටයුතු කළා.

බෞද්ධයන්ට නැති වී ගිය අයිතිවාසිකම් ඉල්ලා යටත් විජිත බාර මහලේකම්ට සන්දේශයක් ඉදිරිපත් කළා.

මේ සන්දේශයේ ප්‍රධාන ඉල්ලීම වූයේ වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලෙස යි.

ඒ සඳහා දූතයෙකු වශයෙන් ක්‍රියාකර ඇත්තේ ඕල්කට්‌තුමා යි. 1885 මාර්තු 27 දින ආණ්ඩුකාර ගෝර්ඩන් විසින් වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කළා. එය රජයේ නිවාඩු දිනයක් ලෙස නීතිගත වූයේ 1886 අංක 04 දරන ආඥාපනත මඟින්.

එය සැමරීමට බෞද්ධ කොඩියක් ද නිර්මාණය කළ අතර 1885 වෙසක් දිනය යෙදුණු අප්‍රේල් 27 දින කොටහේනේ දීපදුත්තමාරාමයේ දී ඒ කොඩිය උත්සවාකාරයෙන් එසවීම සිදුවුණා.

ප්‍රීති ගායනා සමිති

වෙසක් බැති ගී සංදර්ශනයක් – localguideconnect.com

ඉන් පසුව වෙසක්‌ උත්සවය මහත් ආකර්ෂණීයව පවත්වන්නට බෞද්ධ ජනතාව උනන්දු වුණා.

සිංහල නාට්‍ය කලාවේ ආරම්භකයා වූ සී. දොන් බස්‌තියන් (ක්‍රි. ව. 1852-1921) වෙසක්‌ උත්සවයට නව අංගෝපාංගයන් ද ඇතුළත් කරන්නට කටයුත් කර තිබෙනවා.

ඒ අනුව වෙසක්‌ උත්සවය නිමිත්තෙන් කුඩා දරුවන් උදෙසා ප්‍රීති ගායනා සමිති පිහිටුවීම, වෙසක්‌ භක්‌ති ගී ගායනා කරමින් සැරිසැරීම, වෙසක්‌ සැරසිලි නිවෙස්‌වල තැනීම ආදිය සිදු කොට තිබෙනවා.

දේව රූපවල ඇඳුම්වලට සමාන ඇඳුම් හැඳගත් ළමුන් බුදු ගුණ ගායනා කරමින් වීදි සංචාරය කර තිබෙන අතර එම දර්ශන නැරඹීමට විශාල පිරිසක් රොක්ව තිබෙනවා. වෙසක් කැරොල් බවට පත්වුණේ ඒ ගායනා යි. අද වන විට එය වෙසක් භක්ති ගීත ලෙස වෙනස් ආකාරයක් ලබා තිබෙනවා.

වෙසක් තොරණ

පිටකොටුව තොරණ – dremestime.com

වෙසක් කාලෙට රටේ බොහෝ තැන්වල තොරණ ඉදිකරනවා. ඒ අතරින් වැඩිම තොරණ සංඛ්‍යාවක් දකගත හැක්කේ කොළඹ නගරයේ යි.

තොරණ ඉදිකිරීම වෘත්තිය කරගත් ශිල්පීන් පිරිසක් ද මතුවි සිටිනවා. මහා පරිමාණ තොරණ ඉදිකිරිම ආරම්භ වුණේ  1956 වර්ෂයේ බුද්ධ ජයන්ති උත්සවයෙන් පසුව යි.  

1950 දශකයේ තොරණක් – sundaytimes.lk

විදුලිය නොතිබූ මුල් කාලයේ බුදුන් වහන්සේගේ චරිතය හා සම්බන්ධව බෞද්ධයන්ගේ සිත් සතන් තුළ ප්‍රසාදය ඇතිවන ආකාරයෙන් අඳින ලද චිත්‍ර රාත්‍රී කාලයේ පහන් දල්වා ප්‍රදර්ශනය කර තිබෙනවා. පසුව විශාල තොරණ දක්වා පරිණාමය වුණේ ඒවා යි.

විදුලි බුබුළු පැමිණීමත් සමග විදුලි බුබුළු යොදාගනිමින් චිත්‍ර සැරසීම ආරම්භ වුණා.

අද වන විට තොරණේ ප්‍රධාන කතා පුවත යටගොස් විදුලි බුබුලු මෝස්තර උඩට ඇවිත් තිබෙනවා. එමෙන්ම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වන වෙසක් කලාප පසුගිය කාලයේ රට පුරා පැතිර ගියා.

වෙසක් කලාපවලට තොරණ, ධාතු ප්‍රදර්ශන, වෙසක් කූඩු, දන්සැල්, භක්ති ගීත ආදී අංග රාශියක් ඇතුළත් වුණා.

ජාත්‍යන්තර සැමරුම් දිනයක්

ඇමැති කදිරගාමර් එක්සත් ජාතීන්ගේ රැස්වීම අමතමින් – iki.lk

වෙසක්‌ පොහොයේ ඇති වැදගත්කම තේරුම්ගත් එක්‌සත් ජාතීන්ගේ මහා සම්මේලනය එය ජාත්‍යන්තර සැමරුම් දිනයක්‌ වශයෙන් නම් කර තිබෙනවා. වෙසක්‌ දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් රටවල් 34ක අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව 1999 දෙසැම්බර් 13 වන දින ඒකමතිකව සම්මත වුණා.

එවකට විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් සිටි, කොටි වෙඩි පහරට ලක්ව දිවි අහිමි වූ ලක්‍ෂ්මන් කදිරගාමර් තමයි එය එක්‌සත් ජාතීන්ගේ මහා සම්මේලනයට ඉදිරිපත් කළේ. ඒ අනුව 2000 වර්ෂයේ වෙසක්‌ පොහෝ දිනයේ සිට එම දිනය ජාත්‍යන්තර දිනයක්‌ වශයෙන් සැමරීම ආරම්භ වුණා.

වෙළෙඳාමට ගිය වෙසක්

වෙසක් සමරමින් නිකුත් කළ මුද්දර – postbeeld.com 

අද වෙසක් සැරසිලි පැවැත්වීමේ දී වෙසක් දිනයේ තේමාව අමතකකොට වාණිජමය පැත්තට නැඹුරුවීමක් දක්නට තිබෙනවා.

වෙළෙඳ සමාගම් වෙසක්වල අයිතිය බෙදාගන්නට උත්සහ කරන ආකාරය පසුගිය කාලයේ අපට දකින්න ලැබුණා.

අනවශ්‍ය ලෙස වාණිජකරණය වීම නිසා වෙසක්වල අර්ථය පලා යන ආකාරය අපට දකින්න ලැබුණු කරුණක්.

ආශ්‍රිත මූලාශ්‍රයයන් :
ලක්දිව බුදු සමයේ ඉතිහාසය – වල්පොල රාහුල හිමි
Silumina.lk
Divaina.com
Cover – සිදුහත් උපත දැක්වෙන බොරොබුදුර් කැටයමක් – pinrest.com

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *